විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එක වනිඳුට 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) නිකුත් කළ නවතම විස්සයි20 ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා දඟපන්දු පන්දු ක්‍රීඩක වනිඳු හසරංග  (ප්‍රසාද ලකුණු 776) එහි පළමු ස්ථානය දිනාගෙන තිබේ.

මෙතෙක් කාලයක් පළමු ස්ථානය හිමි කරගෙන සිටියේ දකුණු අප්‍රිකාවේ ටබ්රේස්‌ ශම්සි විසිනි. ඒ අනුව ශම්සිව දෙවැනි ස්ථානයට ඇද දමමින් පෙරමුණ තහවුරු කරගැනීමට වනිඳු සමත්ව සිටියි. දෙවැනි ස්ථානයේ පසුවන ශම්සිට ප්‍රසාද ලකුණු 770ක් හිමිව තිබේ.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 730ක් හිමි කරගෙන සිටින එංගලන්තයේ ආදිල් රෂීඩ්ය.

වනිඳුට අමතරව මෙම ශ්‍රේණිගත කිරීම්වලදී පළමු 100 දෙනා අතරට ඇතුලත් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිව්දෙනෙකු සමත්ව සිටිති. ඒ අතර වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර (ප්‍රසාද ලකුණු 522) 28 වැනි ස්ථානයද, දඟපන්දු පන්දු ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් (ප්‍රසාද ලකුණු 469) 48 වැනි ස්ථානයද, දඟපන්දු පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ (ප්‍රසාද ලකුණු 425) 79 වැනි ස්ථානයද, දඟපන්දු පන්දු ක්‍රීඩක අකිල ධනංජය (ප්‍රසාද ලකුණු 411) 86 වැනි ස්ථානයද දිනාගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වන විට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් වනිඳු පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ ඇත. වනිඳු මෙවර තරගාවලියේ මේ වනවිට තරග 07කදී බිඳහෙලා ඇති කඩුලු ගණන 14කි. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය ලෙස දැක්වෙනුයේ 9.78කි. ඒ අනුව මෙතෙක් මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම කඩුලු ලැබූ ක්‍රීඩක ලැයිස්තුවේද පෙරමුණ හිමි කරගෙන ඇත්තේ වනිඳුය.

වනිඳු දකුණු අප්‍රිකාවට එරෙහි පසුගිය තරගයේදී කඩුලු ත්‍රිත්වයක්ද ලබාගැනීමට සමත්විය.

මේ අතර, අයිසීසී පන්දුවාර විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානය හිමි කර ගැනීමට ද වනිඳු හසරංග සමත්ව තිබේ. එහිදී ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය වනුයේ 172කි. තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානය ඇෆ්ඝනිස්තානයේ මොහොමඩ් නබිටද (ප්‍රසාද ලකුණු 271) දෙවැනි ස්ථානය බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන්ටද (ප්‍රසාද ලකුණු 271) තෙවැනි ස්ථානය නැමීබියාවේ ජේ.ජේ. ස්මිට්ටද (ප්‍රසාද ලකුණු 175) හිමිව තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු අයිසීසී පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලදී ප්‍රථම ස්ථානයට පත්ව තිබුණේ 2009 වසරේදී හිටපු වේගපන්දු ක්‍රීඩක නුවන් කුලසේකරයි. ඔහු එක්දින ජාත්‍යන්තර තරගවලදී මෙලෙස ප්‍රථම ස්ථානයට පත්ව තිබුණි.