‘මාස්ටර් බ්ලාස්ටර්’ ආයෙත්…

ලබන මාසදී ඉන්දියාවේදී නැවතත් ආරම්භ කිරීමට නියමිත ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය තීරණය කර ඇතැයි වාර්තා වේ.
විශ්‍රාමලත් ලෝකයේ විශිෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් රටවල් කිහිපයක කණ්ඩායම් තරග කිහිපයක් තරගවදින ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්’ තරගාවලිය පසුගිය වසරේ මාර්තු මාසයේදී ආරම්භ විය. ඓහෙත් ලෝකය පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය හේතුවෙන් අදාළ තරගාවලිය තරග 4ක් පමණත් පැවැත්වීමෙන් අනතුරුව නවතා දැමීමට සංවිධායකයෝ තීරණය කළේය. ඒ අනුව එම තරගාවලියේ ඉතිරි තරග නැවත ලබන මාර්තු මස 02 වැනිදා සිට 21 වැනිදා පැවැත්වීමට මේ වනවිට තීරණය කර ඇති අතර එහිදී ‘ශ්‍රී ලංකා ලෙජන්ඩ්’ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘මාස්ටර් බ්ලාස්ටර්’ සනත් ජයසූරියද මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් පළමු අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු, චමින්ද වාස්, උපුල් චන්දන සහ රොමේෂ් කලුවිතාරණ මෙවර තරගාවලියෙන් ඉවත් විය. ඒ අනුව මෙවර තරගාවලියේදී ජයසූරිය ඇතුළුව රසල් ආනල්ඩ්, ධම්මික ප්‍රසාද් සහ නුවන් කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබේ.