2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පාවා දීමක් ගැන හිටපු ක්‍රීඩා ඇමති කියයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුදලට හෝ වෙන යම් දෙයකට පාවා දුන් බවත් ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් එවකට ක්‍රීඩා ඇමැති වශයෙන් කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටී.
ඉන්දීය කණ්ඩායම සමග පැවැති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 274 ක් ලබා ගත්තේය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 ක් තුළ කඩුලු 4 ක් පමණක් දැවී තරගය ජය ගැනීමට සමත් විය. අදාළ තරග පරාජය පිළිබඳව අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පවසා සිටියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සිවුදෙනකු තමන්ගේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා නොගත් ක්‍රීඩකයන් බවයි. තමන් ඒ පිළිබඳව දුටුවේ ද එම තරගය අතරතුරදී බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව මෙම තරග පරාජය පිළිබඳව තවත් පැහැදිලි ප්‍රබල සාක්ෂි තමන් සතුව ඇති බවත් වගකිවයුතු ආයතන වෙත තමන් ඒවා ඉදිරිපත් කර බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙම තරග පවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ වී නොමැති බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.