ලංකාවේ විරෝධතාවන්ට සහාය දෙමින් ලන්ඩනයටත් පනදහසක් එක්වෙති

“ලන්ඩනයට පන්දහසක්” යන තේමාව යටතේ එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් අද (මැයි 1දා) විරෝධතාවක් සංවිධානය කරනු ලබන අතර එම දැවැන්ත විරෝධතාවට එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්වීමට නියමිත බවද දැනගන්නට ඇත.ඒ අනුව එංගලන්ත වේලාවෙන් පස්වරු 2.00 සිට ලන්ඩන් නුවරදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට සැළැසුම් කර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ පවතින වත්මන් අර්බුදයට විරෝධය පළකරමින් සහ කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතා අරගලයට සහාය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතාව ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු චතුරශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට නියමිත බවද පැවැසේ.
මේ අතර වත්මන් රජයට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉවත් වන්නැයි බලකරමින් කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතා අරගලයට අදට දින 22ක් ගතවී ඇත.තවද ඊට සහයෝගය දක්වමින් මීට සතියකට පමණ පෙර සිට අරලියගහ මැදුර ඉදිරිපිට අග්‍රාමාත්‍යවරයාට එරෙහිවද “මයිනාගෝගම“ නමින් තනා ගත් ස්ථානයක විරෝධතාවක් පැවැත්වෙන අතර විරෝධතාකරුවන් විසින් එම ස්ථානයේ ඉදිකර තිබූ අට්ඨාල අද අළුයම ඉවත් කිරීමත් සමග පොලීසිය සහ විරෝධාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති විය.