මිකී නැතිවීම කණගාටුවක් – දිමුත් ගාලු ගිහින් කියයි

මිකී තාත්තා කෙනෙක් වගේ
චරිත්ට තැනක් නැහැ
දික්කා නැති එකෙන් චන්දිට නිකන්ම තැන ආවා
  • අසේල විතාන

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු මිකී ආතර් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය ධුරයට සමුදීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් බව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
කොදෙව්වන් සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර දිමුත් මෙම අදහස් පළ කර සිටියේය. ”ඇත්තටම මිකී කියන්නෙ ඉතාමත් දක්ෂ පුහුණුකරුවෙක්. ඔහු එක් එක් ක්‍රීඩකයන්ට සලකන්නෙ ඒ අයගේ හැකියාව අනුව. වෙලාවකට මිකී තාත්තා කෙනෙක් වගේ. තවත් වෙලාවකට යාළුවෙක් වගේ. ඔහු ඉන්න කාලයේදී කණ්ඩායම ලබපු දියුණුව පේන්න තියෙනවා. ඇත්තටම ඒ වගේ පුහුණුකරුවෙක් නැතිවීම ලොකු කණගාටුවක්. ඒත් මම ඔහුගේ ඉදිරි ගමනට සුබ පතනවා.
කෙසේ වෙතත් මාස හතකට පසුව ජාත්‍ය්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නෙ චකිතයෙන් බවත් නමුත් රිද්මය සොයා ගැනීමට ගාල්ලේදී මිකී ආතර් මෙන්ම ග්‍රාන්ට් ෆ්ලවර් ඇතුළු සියලු දෙනා තමාට සහය දුන් බවත් දිමුත් පවසයි.
මාස හතකට පස්සෙ යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන කොට චකිතයක් තියෙනවා. රිද්මයට එන්න පුළුවන්ද බැරිද කියලා. මම උත්සහ කරනවා කොහොම හරි උපරිමය කරන්න. නමුත් මම සියයට සියයක් පරණ තත්ත්වයට ඇවිල්ලා කියන්න බැහැ. ඒ තත්ත්වයට එන්න මට ගොඩක් කට්ටිය උදව් කළා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා සුපුරුදු පරිදි ලකුණු අතරට පැමිණෙන්න. අපි පසුගිය මාස පහේදී හොඳට පුහුණුවීම් කළා. කෝවිඩ් එකත් එක්ක අපිට ප්‍රශ්න තිබ්බා. ලෝක කුසලානයට කණ්ඩායම ගිය නිසා අපි කීප දෙනෙක් විතරයි මෙහෙ පුහුණුවීම් කළේ.
පැතුම් නිශ්ශංක තමයි මගෙත් එක්ක ආරම්භක පිතිකරුවා විදිහට ක්‍රීඩා කරන්නෙ. මොකද ළහිරු තිරිමාන්නට මේ තරගාවලියට සහභාගි වෙන් බැහැ. ඒ වගේම අපි පිතිකරුවන් හය දෙනෙක් සහ පන්දු යවන්නන් පස්දෙනෙක් එක්ක තමයි තරගයට සහභාගි වෙන්නෙ. වේග පන්දු යවන්නන් දෙනෙක් සහ දග පන්දු යවන්නන් තුන්දෙනෙක් පළමු තරගයට යොදවා ගන්නවා. විස්සයි විස්ස තරගාවලියේදී දක්ෂතා දැක්වූ චරිත් අසලංකට අවසන් 11 දෙනාගෙ ස්ථානයක් මේ තරගයේදී වෙන් කරන්න අවස්ථාවක් නැහැ. කොහොම වුණත් අපි පසුගිය දින කිහිපයේදී හොඳ පුහුණු සැසි කිහිපයකටම සහභාගි වුණා.
පළමු ටෙස්ට් තරගයට ගහන 11 මෙන්න
දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල්