ටොම් මූඩි ගිය එංගලන්ත සවාරියට තවත් දීමනා

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩිට නිමාවූ එංගලන්ත සංචාරයට සහභාගී වීම වෙනුවෙන් තවත් දීමනා ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක තාක්ෂණික කමිටුවේ නිර්දේශ මතය.
ඒ අනුව ටොම් මූඩි වසරකට දින 100ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන අතර, ඒ වෙනුවෙන් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 1800ක (දිනක වැටුප ශ්‍රී ලංකා රුපියල් 356,990.40ක්) දීමනාවක් ලබයි. ඒ අනුව ඔහු එංගලන්තයේ සිටි සියලුම දවස්වලට ඇමෙරිකානු ඩොලර් 1800 බැගින් හිමිකම් කියනු ලබයි. විශේෂත්වය වන්නේ ඔහු මෙම දීමනාවට හිමිකම් කියනුයේ ඔහුගේ වැටුපට අමතරවයි.
වසරකට දින 100ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන ඔහුගේ මසක වැටුප ලෙස වාර්තා වනුයේ ඇමෙරිකානු ඩොලර් 30,000කි. එය ශ්‍රී ලංකා මුදලෙන් මසකට රු. ලක්ෂ 59කට (රු. 5949,840.00) වැඩිය.
කෙසේ වෙතත් ඔහුගේ දිනක දීමනාවට අතිරේකව දිනකට ඇමෙරිකානු ඩොලර් 100ක් ගෙවීමට නියමිතව තිබුනද ඔහුට නවාතැන් පහසුකම් සියල්ල සැපයීම හේතුවෙන් එම දීමනාව පමණක් ගෙවා නොමැත.