ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් පොහොර ප්‍රශ්නයක් ඇදගෙන ගෝඨාභය ෆේල් කළා, වත්මන් රාජපක්ෂ පාලනයේ ජනප්‍රියත්වයත් අඩු වෙලා – නාමල් කියයි

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් නමුත් එය භාර නිලධාරීන් විසින් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොකළ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඩේලි මිරර්“ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් මේ අදහස් පළකර ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ 2019 ජනාධිපතිවරයා පත් වූ වහාම රසායනික නොවන පොහොරවලට මාරුවීමට තීරණය කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඉදිරියට නොයෑම නිසා එය අසාර්ථක වූ බවයි.

විෂය භාර ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් මේ සඳහා ක්‍රියා නොකළ අතර අවසානයේ ජනාධිපතිවරයාට දැඩි තීරණයක් ගැනීමට සිදුවූ බවද පැවැසූ අමාත්‍ය නාමල්,
“රසායනික පොහොරවලට මාරුවීමේ ක්‍රියාවලියක් තිබෙන බව ඇත්ත එය වසර 10ක් ව්‍යුහගත කළ යුතුව තිබුණත් අපි දන්නා පරිදි ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒ විෂයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කරලා ඒක බාර දීල බලාගෙන හිටියේ. වසර එකහමාරක් ගතවුණා. විෂය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් කටයුතු නොකළ අතර අවසානයේ ජනාධිපතිවරයාට දැඩි තීරණයක් ගැනීමට සිදු වුණා. නායකයින් තම ජාතියේ අභිවෘද්ධිය සඳහා මෙය කළ යුතුයි” නාමල් පැවසීය.
තවද, දැනට ජාතියටම මුහුණ දීමට සිදුවී ඇති දැවෙන අර්බුද හමුවේ, රාජපක්ෂ පාලනයේ වත්මන් ජනප්‍රියත්වය පහත වැටී ඇති බව පිළිගත් නාමල්, නමුත් මෙය තාවකාලික තත්වයක් බවත්, මේ වසරේදී රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශ කළේය.