නාට්ටාමිවරු උද්ඝෝෂණයකට සැරසෙති

පිටකොටුව ඇතුළු දිවයින පුරා සිටින නාට්ටාමිවරුන්ට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලා නාට්ටාමිවරු ඉදිරියේදී උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙන බව වාර්තා වේ.
දැනට පවතින ක්‍රමවේදයට අනුව කිලෝ පනහක් හෝ ඊට ආසන්න බරකින් යුත් ගෝනියක් හෝ පාර්සලයක්, පෙට්ටියක් කරමතින් ගෙන ගොස් භාරදීම සඳහා සහ ලොරියකින්, කන්ටේනරයකින් භාණ්ඩ බෑම සහ පැටවීමේ කටයුතු සඳහා රුපියල් විස්සක් හෝ ඊට ආසන්න මුදලක් අය කරන බවත්, එම මුදල රුපියල් තිහත් තිස්පහත් දක්වා වැඩි කරන ලෙස ව්‍යාපාරිකයන්ගෙන් මේ වනවිට ඉල්ලීම් කර තිබෙන බවත් එම ඉල්ලීම දිනා ගැනීම සඳහා මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.
මීට අමතරව කරත්තයක තබා භාණ්ඩ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් අය කරන රුපියල් දෙසියක මුදල රුපියල් තුන්සියත්, තුන්සිය පනහත් අතර මුදලකින් ඉහළ දැමිය යුතු බවත්, කරත්ත උපයෝගී කර ගනිමින් මීට වඩා වැඩි මුදලක් අය කරමින් සිදුකළ සේවාවල මිලත් මෙම මුදලට සාපේක්‍ෂව ඉහළ දැමිය යුතු බවත් නාට්ටමිවරුන්ගේ ඉල්ලීම් අතර වේ.