වරාය ඇමැති රෝහිතට ගාල්ලෙත් පෝට් සිටියක් ඕනලු

ගාල්ල වරාය සංවර්ධනය කර වැඩිදියුණු කිරීමට ආයෝජකයින්ට ආරාධනා කිරීමේ සමුළුවක් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති අතර එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතවද ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි.
එම සංවර්ධන ව්‍යාපෘතියට අනුව ගාල්ල වරායේ නව දියකඩනයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් එයින් ලැබෙන හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයේ මුහුද ගොඩකර එම සංචාරක කලාපය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් වරාය හා නාවික ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසිය. එහි සාප්පු සංකීරණ මෙන්ම සංචාරක හෝටල් ආදී සියල්ල ඉදි කෙරෙන බවත් සඳහන් කළ අබේගුණවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,

“කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ කළා වගේම පෙබරවාරී මාසයේ බටහිර පර්යන්තයෙත් වැඩ පටන්ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් මේ රටේ වරාය ක්ෂේත්‍රයේ අපි කරන මෙහෙයුම්වල 100%ක් ධාරිතාව වැඩිකරන්න අපි බලාපොරොත්තු වෙනවා . ගාල්ල වරාය සංචාරක වරායක් බවට වැඩිදියුණු කිරීමේ අදහස අනුව තමයි අද දවසේදී දේශීය සහ විදේශිය අයෝජකයින් කැදෙව්වේ. ඒ අනුව කොළඹ වරාය නගරය හා සමානවම ගාලු පුරවරයේ පෞද්ගලික ආයෝජකයින් විසින් සාප්පු සංකීරණ, හෝටල් මේ සියල්ල ඉදිකරනවා.” යැයිද පැවැසීය