ඉදිරි සතිය තීරණාත්මකයි – සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ‍්‍රිතව ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ පවුල් 1037 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව කොවිඞ් 19 රෝගය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙයට සමගාමීව ඔවුන්ගේ ආශ‍්‍රිතයන් පීසීආර් පරීක්‍ෂණවලට භාජන කිරීමට ද පියවර ගෙන තිබෙන බව කී යුද හමුදාපතිවරයා ස්වයං නිරෝධායනය සඳහා පුද්ගලයන් යොමු කර ඇත්තේ සැක සහිතභාවය නිසා බැවින් කිසිවකුත් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් සඳහන් කළේය. ඉදිරි සතිය ඇතුළතදී කොවිඞ් 19 සමාජය තුළ පැතිර යන්නේද නැද්ද යන්න පිළිබඳව අනාවරණය කරගත හැකි බව පෙන්වා දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වන විට ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් හඳුනාගෙන තිබෙන බවත් කීවේය. පවතින තත්ත්වය තුළ රට පුරා විවිධ ප්‍රචාර පැතිර යමින් පවතින බවත්, පළමු අදියර පාලනය කළා සේම මෙම තත්ත්වයත් පාලනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.