කුඩු නිලාන්ට මරණ දණ්ඩනය

හෙරොයින් ග්‍රෑම් 274ග68 ක් සන්තකයේ තබා ගැනීම හා හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධ චෝදනාවන්ට වරදකරු වූ දේවගේ තුසිත චාමර හෙවත් ”කුඩු නිලාන්” ට කොළඹ ප්‍රධාන ම‍හාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින්  මරණීය දණ්ඩනය නියම කළේය.

හෙරොයින් ජාවාරම නිසා සමාජයට සිදු වී ඇති බරපතළ ව්‍යසනය සැලකිල්ලට ගෙන විත්තිකරු හට දැඩි දඬුවම් ලබාදීමට අධිකරණය තීරණය කළ බව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

හෙරොයින් ජාවාරම නිසා මුළුමහත් සමාජයේම ජීවිත අහිමිවීමක් පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන පවුල්වල සාමාජිකයන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්වන බව අවධාරණය කළ විනිසුරුවරයා හෙරොයින් ජාවාරම්කරුවන් නැවත සමාජයට මුදාහැරීමෙන් සිදුවන හානිය ගණනය කිරීමට අපහසු බව ද සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළේය.

2014 වසරේ මැයි මස 20 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉතා සූක්ෂ්මව සිදුකළ වැටලීමකදී බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී හෙරොයින් ද සමඟ විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඟා ඇති අධිචෝදනා දෙක එනම් හෙ‍රොයින් ජාවාරම හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු බවට තීන්දු කෙරුණි.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව ද අධිකරණය තීරණය කළේය.

දෙදරු පියෙකු වන 37 වැනි වියේ පසුවන විත්තිකරුනට නැවත සමාජගත විය හැකි අයුරින් දඬුවමක් නියම කරන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හෙරොයින් ග්‍රෑම් 2 කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබා ගත් පුද්ගලයකුටත් නීතියෙන් හිමිවන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම බව ප්‍රකාශ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණී ගිරිහාගම මෙ‍නවිය සමාජයටත් ආදර්ශයක් විය හැකි උපරිම දණ්ඩනය එනම් විත්තිකරු හට මරණීය දණ්ඩනය නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

‍තවද 2014 වසරේ ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 23325 ක් සිදුකර ඇති බවත් එය 2018 වන විට 40972 ක් දක්වා වර්ධනය වී ඇති බවත් පැවසූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය හෙරොයින් ජාවාරම සම්බන්ධව අධිකරණවල නඩු 54686 ක් ගොඩගැසී ඇති බව ද සඳහන් කළාය.

හෙරොයින් ජාවාරම මුළුමහත් සමාජයම ඉලක්ක වන ව්‍යසනයක් බව පවසා සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සමාජයේ පවතින වර්තමාන යථාර්ථවාදී තත්ත්වය සලකා බලා විත්තිකරු හට උපරිම දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා හෙරොයින් ජාවාරම නිසා සමාජයට සිදුවිය හැකි ව්‍යසනය සැළකිල්ලට ගෙන සමාජයටත් ආදර්ශයක් වන අයුරින් දඬුවම් නියම කරන ‍බව ප්‍රකාශ කරමින් විත්තිකරු හට මරණීය දණ්ඩනය නියම කළේය.