ලබන සඳුදා තෙක් ස්ථිරවම කළුවර නැහැයිලු – ඉන්ධන ගන්න ඩොලර් මිලියන 500 ණයත් අනුමතයි

අද පැවති පුවත්පත් සාකච්ඡාවකදී මහජන උපයෝගීතා කොමිසම පවසා සිටියේ ජනවාරි 31 වනදා (ලබන සඳුදා) තෙක් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි. ඉදිරි දින කිහිපයට විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන බලාගාර සතුව පැවැතීම මෙම තත්වයට හේතුව බවද පැවැසේ.
විදුලිය කැපීම සම්බන්ධව සැළැසුමක් තිබුණද ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීමත් සමග එම සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව පසුගිය දින වලද සිදුනොකළ බව ලංකා විදුලි ඉංජිනේරු සංගමයද පසුගියදා තහවුරු කළේය. පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය ද විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමයද මීට දින දෙකකට පෙර ප්‍රකාශ කළේය.

මේ අතර ඉන්ධන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක් ලබාදීම සඳහා වූ යෝජනාවට ඉන්දීය රජයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් යොදා ගැනීමට එම ණය මුදල උපකාරී වන බවත් එම මුදල යොදාගෙන මාර්තු මාසය වන විට මෙරටට ඉන්ධන ආනයනය කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.