ඩොලර් නැතිව තෙල් ටැංකි හිදෙයි

ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී.

මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකිරීමත්, තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත, මෙම තත්වය වඩාත් උග්‍ර වී තිබේ.

ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය හමුවේ රට තුළ ඩීසල් ඇත්තේ සීමිත දින කිහිපයකට පමණක් බවද බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට පැමිණ ඇති අතර ,එහි ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල් තවත් සති කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .

එසේ වුවද මින් ඉදිරියට ඉන්ධන ඇණවුම් කිරීමට හෝ වරායට පැමිණ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන ගොඩ බෑමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ .

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහක ට ආසන්න ණය මුදලක් ලැබීමට ඇති අතර,ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි දහදාහක මුදලක්ද ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300 ක මුදලක් ද ලැබීමට ඇත.

මේ තත්වය තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යංශය කියයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට ඉන්ධන හිඟයක් ද ඇතවී තිබෙන බව වාර්තා වෙයි.

මේ අතර ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමට ද  සීමා කර ඇත.

(අජන්ත කුමාර අගලකඩ)