එක්කෝටි විසිලක්ෂයක විදුලි පොල්ලක් තැබූ ඇමැති ගේට්ටු වහගෙන

රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු රැුඳී සිටින කිරුළපන සරණංකර පාරේ නිවසේ රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක විදුලි බිල ඊයේ (21 දා) වනවිටත් ගෙවා නැතැයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

මෙම නිවස රජයේ නිල නිවසක් වන අතර දැනට එහි හිමිකාරීත්වය උසස් හමුදා නිලධාරියකුගේ නමට තිබේ. නමුත් අද වනවිට එහි රැඳ සිටින්නේ ප‍්‍රබල ඇමැතිවරයකු බවද ඔහු කීය.

විදුලිබිල නො ගෙවීම නිසා එම නිවසේ විදුලි විසන්ධි කිරීමට කිරුළපන විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී එම නිවසට ගියත් එහි සිටින ආරක්‍ෂක නිලධාරීන් ගේට්ටු විවෘත නො කිරීම නිසා ආපසු හැරී ගොස් ඇති බව ද ජයලාල් මහතා කීය.

මහජනතාව විදුලි බිල් නො ගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට පැමිණ ගේට්ටු විවෘත නො කරයි නම් එම නිවසට විදුලිය සැපයෙන විදුලි කණුවෙන් විදුලිය විසන්ධි කරන බවත්, එම කි‍්‍රයාපිළිවෙත මෙම නිවසට අනුගමනය නො කරන්නේ ප‍්‍රබල දේශපාලකයා එම නිවසේ රැඳ සිටීම නිසා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා