මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට පිරිමි ශූරතාව ඉරානයට

මීගමුව වෙරළ තීරයේදී පසුගියදා නිමාවට පත්වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව ශ්‍රී ලංකා කාන්තා අංක-1 කණ්ඩායම (දීපිකා බණ්ඩාර – දිනේෂා ප්‍රසාදිනී) විසින් දිනා ගන්නා ලද අතර පිරිමි අංශයේ ශූරතාව දිනා ගන්නා ලද්දේ ඉරාන අංක-1 (එස් ෂේකර් – අෂේන් රශ්මිත) කණ්ඩායම විසිනි.
ඒ අනුව කාන්තා අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා අංක-1 කණ්ඩායම ඉදිරියේ වට 2-0ක් ලෙස (21/6, 21/10) පරාජයට පත්වූ ශ්‍රී ලංකා අංක-2 කණ්ඩායම (ෂෙහානි වීරසිංහ – සුලෝචනා ජයවර්ධන) එම අනු ශූරතාවට හිමිකම් කී අතර පිරිමි අංශයේ අනුශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා අංක-2 (අංජන සන්දීපන – සඳුන් මධුෂංක) කණ්ඩායමයි. එනම් පිරිමි අවසන් මහා තරගයේදී ඉරාන අංක-1 කන්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා අංක – 2 කණ්ඩායමට වට2-0 (21/12, 21/16) පරාජයක් උරුම විය.
රටවල් පහක් නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 18ක සහභාගීත්වයෙන් තෙදිනක් පුරා මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැති මෙම තරගමාලාවේදී කාන්තා ශූරතාව දිනාගත් දිනේෂා ප්‍රසාදිනී හා දීපිකා බණ්ඩාර ගෙන් සමන්විත ශ්‍රී ලංකා අංක-1 කන්තා කණ්ඩායම ලබන ජුලි 28දා එංගලන්තයේදී ආරම්භ වන 22වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා නිර්දේශ වීමද විශේෂත්වයකි.