ඡන්දයට අදාළ සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ගැසට් කරන්න

කොවිඩ් 19 වසංගතය යළිත් රට පුරා පැතිරීමේ අවදානමක් පවතින බැවින් වහාම මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කරන ලෙස නිදහස් හා සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය (කැෆේ) රජයෙන් ඉල්ලීමක් කරයි. මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය කියයි. පවතින අවදානම් සෞඛ්‍ය වාතාවරණය මත මහ මැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවත්, එසේ නොකළහොත් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත් ඊට අමතරව මහ මැතිවරණ‌යේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කළ හැකි බවත් එහි විධායක අධ්‍යක්‍ෂ අහමඩ් මනාස් මකීන් මහතා පවසයි. අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහාම ගැසට් කිරීම අනිවාර්ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.