සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින්

ලබන සඳුදා (08දා) සිට දුම්රිය සහ බස් රථ ඇතුළු සියලු‍ම පොදු ප්‍රවාහනය සාමාන්‍ය අන්දමින් පවත්වා ගෙන යාමට මගී ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත. ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේදී මේ බව තීරණය වී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කෝවිඞ් 19 වසංගත තත්ත්වය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනු ලබන උපදෙස් සැලකිල්ලට ගනිමින් සියලුම පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.
මෙහිදී බස් රථ සඳහා ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය අනිවාර්ය කර ඇත. ඒ සඳහා දැනට තිබෙන පෞද්ගලික සහ ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට පියවර ගත යුතු බවටද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.
ඊට අමතරව පාසල් ප්‍රවාහන බස් රථ, විනෝද හෝ වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීම් සඳහා බලාපොාරොත්තු ලේඛනයේ ඇති සියලු‍ බස් රථ තාවකාලිව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට ද තීරණය වී තිබේ.