STF මෙහෙයුමකින් දෙහිවල සත්ව උද්‍යානයේ ජාවාරම් කරු අත්අඩංගුවට

දෙහිවල සත්තු උද්‍යානයේ සේවකයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(16) සවස දෙහිවල දී හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 34 ක් වු කසුන් ෂෙහාන් කළුවිතාරණ නැමති මෙම සැකකරු දෙවන අදියර, බඩෝවිට හා පොකුණු පාර , කවුඩාන, දෙහිවල යන ලිපිනයන් දෙකෙහිම පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාගේ නිවසේ දී හෙරොයින් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රතිබිම්බාරාම පාර, කළුබෝවිල, දෙහිවල යන ලිපිනයේ පදිංචි 41 හැවිරිදි විදානආරච්චිගේ නාලක පුෂ්පකුමාර නැමති මෙම සැකකරු දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයෙකු ලෙස කටයුතු කරන බව පොලීසිය පවසයි.

පසුව ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල සත්ව උද්‍යානය තුළ ඔහුගේ කබඩ් එකක සඟවා තිබු තවත් හෙරොයින් ග්‍රෑම් 400 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව මෙම සැකකරුගෙන් සොයා ගත් සමස්ථ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 500 ක් වෙයි.

මෙම පුද්ගලයා සත්ව උද්‍යානය තුළ හෙරොයින් සඟවා තබා ගෙන ජාවාරම් කළ බවට අනාවරණය වී තිබේ.