රන්ජන්ට වසර 4ක සිර දඬුවමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම මත මෙම සිර දඬුයහ නියම කිරීමට පියවර ගෙන තිබේ.
සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටී. ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
2017 වසරේ අගෝස්තු මස 21 වැනිදා කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණ. ඒ අනුව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.