ඇපල්, දොඩම්, මිදි, චොක්ලට් ගෙන්වීමට සීමා ක‍්‍රමයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600කට අධික ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවට ගෙන්වීම සීමාකිරීම සඳහා ආනයන බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.

මේ අනුව එම ආනයන සීමා කිරීමේ ක‍්‍රමවේදය වහාම කි‍්‍රයාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තුවේ.

ආනයන අපනයන පාලන පනත යටතේ මේ බලපත‍්‍ර ක‍්‍රමය කි‍්‍රයාත්මක කෙරෙන අතර ඒ අනුව අදාළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම සීමාකෙරෙනු ඇත.

එහෙත් එම භාණ්ඩ ආනයනය තහනම් කිරීමක් කිසිසේත්ම සිදුනොවන බවත් මේ නව බලපත‍්‍ර ක‍්‍රමය හරහා සිදුකරන්නේ ආනයනය කරන එම භාණ්ඩ සීමා කිරීමට ලක් කිරීම බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින’ට වාර්තා වේ.

ඇපල්, දොඩම්, මිදි ඇතුළු විදේශීය පලතුරු වර්ග සහ චීස්, බටර්, මාගරින්, චොකලට් හා රසකැවිලි මෙන්ම වොෂින්මැෂින් හා රූපවාහිනී යන්ත‍්‍ර ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩද ඇතුළුව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ රැුසක් මේ ආනයන බලපත‍්‍ර ක‍්‍රමයට යටත් කිරීමට නියමිතය.

මේ බලපත‍්‍ර ක‍්‍රමයට යටත් කෙරෙන භාණ්ඩ පිළිබඳව මේ දිනවල මුදල් අමාත්‍යාංශය අධ්‍යයන කරගෙන යන බවද ‘දිවයින’ට වාර්තා වේ.

ඇතැම් භාණ්ඩ දැනටමත් බොහෝ ප‍්‍රමාණවලින් ආනයනය කර ගොඩ ගසාගෙන ඇති බවත් ඒවාද ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවත් පැවසේ.

එවැනි භාණ්ඩ වර්ග ආනයනය සඳහාද ආනයන අපනයන පාලකගේ බලපත‍්‍රය හඳුන්වා දුන් විට ඒවා තවදුරටත් අනවශ්‍ය පරිදි විශාල වශයෙන් ආනයනය කිරීමට ඉඩ නොලැබෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් තවදුරටත් දිවයින’ට වාර්තාවේ.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ බවට සැලකෙන ආනයන භාණ්ඩ 700කට පමණ ඉහළ තීරු බදු පනවන ලෙස ශී‍්‍ර ලංකා මහ බැංකුවද රජයට යෝජනා කර තිබිණි.

ගිය වසරේ (2021) ඇපල් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16ක්ද, අනෙකුත් භාණ්ඩ ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4ක්ද වියදම් වී ඇති බවට ගණන් බලා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත