චන්දිමාල් ඉවතට දික්වැල්ල ඇතුළට-විස්සේ නායකත්වයත් වෙනස් වන ලකුණු

ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස හෙට (4දා) ඉන්දීය කණඩායමට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකුව සිටි දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීමත් නිරෝෂන් දික්වැල්ල නැවත කණ්ඩායමට ඇතුළත් කර තිබීමත් කැපී පෙනේ.
මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ප්‍රකාශයට පත්කර ඇති වේගපන්දු යවන සුරංග ලක්මාල් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද වන තරග 2කින් යුත් ඉන්දියාවට එරෙහිව මෙම ටෙස්ට් තරගාවලියේදී හෙට මොහාලිහිදී ආරම්භවීමට නියමිත පළමු තරගය සඳහා ලක්මාල් ඇතුළු වේගපන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කරන බවද දැනගන්නට ඇත. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද පැවැති මාධ්‍ය හමුවේදී පැවැසූ පරිදිම දුෂ්මන්ත චමීර හෙට ඇරැඹෙන පළමු ටෙස්ට් තරගයේදී විවේක ගන්වා ඇති අතර ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් සහ ළහිරු තිරිමාන්න ක්‍රීඩා කරන බවද එකී ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
ඒ අනුව හෙට ඉන්දියාවට එරෙහිව ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස
දිමුත් කරුණාරත්න (නායක), ළහිරු කිරිමාන්න, පැතුම් නිශ්සංක, ඇන්ජිලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා,
චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ලසිත් ඇඹුල්දෙනිය නම්
කර ඇති බවද පැවැසේ.
මේ අතර පසුගිය විස්සයි-20 තරගාවලි දෙකේදී සහභාගී වූ තරග 8න් 7ක්ම පරාජය වෙමින් ශ්‍රී ලංකා කණ්ඩයම දැක්වූ දුර්වලතා මෙන්ම දිගින් දිගටම ලද තරගාවලි පරාජයන් හේතුවෙන් ලෝක කුසලානයට යාමට යළිත් වරක් සුදුසුකම් ලබා ගැනීමට සිදුවීම යන කාරණා සැළැකිල්ලට ගනිමින් දසුන් ශානකගේ නායකත්වයේ වෙනස් කමක් කිරීම කෙරෙහිද ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයිද පැවැසේ.
නායකයෙකු ලෙස කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගෙන් ඔහුට ලැබිය යුතු සියයට සීයක දායකත්වය නෙලැබී යාමත් මෙම වෙනසට එක් හේතුවක් ලෙස සඳහන් වන අතර තවද දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළහොත් ඔහුගෙන් පිතිකරුවෙකු ලෙස දැනට වඩා විශාල දායකත්වයක් කණ්ඩායමට ලබා ගත හැකි බවටද තවත් මතයක් ගොඩනැඟී ඇතැයිද පැවැසේ.