ක්‍රීඩාවේ වංචාවට හා දූෂණයට එරෙහිව රොහාන් පොල්ල අතට ගනී.

තම රටෙහි ක්‍රීඩා හැකියාවන්ගේ වැරදි මොනවාද යන්න සොයා බැලීම අපට වඩා කුඩා රටවල් පවා
කරමින් තිබියදී අපගේ ක්‍රීඩාවේ ප්‍රවීණයින් විසින් නිර්මාණය කරන ලද ගම්‍යතාවය පවත්වා ගෙන
ගොස් ක්‍රීඩා විශිෂ්ඨයන් බිහි නොකළේ මන්ද? යන්න ක්‍රීඩා මාධ්‍යවේදීන් විසින් අද ගැඹුරින් විග්‍රහ කළ
යුතු බව ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

ඒ මහතා මෙසේ පැවැසුවේ පසුගිය සිකුරාදා ( දෙසැම්බර් 3දා) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති
දෙවැනි සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වෙමිනි.

”පසුගිය ක්‍රීඩා පරිපාලනයන් යටතේ පිහිනුම් තටාක ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අධික
පිරිවැයක් දරා දිවයින පුරා තටාක විශාල ප්‍රමාණයක් ඉදිකළ බව ඔබ විශ්වාස කරනවාද? අද අපට ඉන්න
හොඳ පිහිනුම් ක්‍රීඩකයින්ට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රටේ පිහිනුම් තටාක තිබෙනවා. එම පිණුම්
තටාක අද වතුර හා ක්‍රිඩකයින් එන තෙක් බලා සිටිනවා.
ජාතික අරමුදල්වල මෙම දැවැන්ත නාස්තියට අද කිසිදු වගකිව යුත්තෙක් නැහැ. මා මේ කී දේ
පිළිබඳව ඔබට අවශ්‍ය නම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විස්තර ලබා ගත හැකියි. ක්‍රීඩා මාධ්‍යවේදීන් වන ඔබ
විසින් අපගේ ක්‍රීඩාවේ වැරදී ඇත්තේ කොතැනද කුමක්ද යන්න ගැඹුරින් විග්‍රහ කළ යුතුයි.” යනුවෙන්ද
ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු මෙන්ම ජාතික ඔරුපැදීමේ සම්මේලනයේ හිටපු
සභාපතිවරයෙකුද වන රොහාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් සන්නාම අනුග්‍රහය යටතේ මෙම සම්මාන උළෙල පැවැති අතර
රොහාන් ප්‍රනාන්දු මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

අද අපි ක්‍රීඩා සාහිත්‍යයේ නියැළෙන මාධ්‍යවේදීන් හඳුනාගෙන ඔවුන්ට ගෞරව කිරීමට
මෙම ප්‍රසිද්ධ ශාලාවට රැස්ව සිටිමු. ක්‍රීඩා ඉතිහාසය ලිවීමට ක්‍රීඩා මාධ්‍යවේදීන් හා සාහිත්‍යවේදීන්
තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ක්‍රීඩකයෙකුගේ චරිතය ශක්තිමත් කළ ආචාර ධර්ම,
තරුණ හා පරිණත බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළින් කනගාටුදායක ලෙස අඩුවෙමින් පවතින අතර
ක්‍රීඩාවේ සාධාරණ බව සහ සාධාරණත්වයේ මූලධර්ම වැලඳ ගැනීම වෙන කවරදාටත් වඩා අඩුවෙමින්
පවතී. මෙම තත්වය අද ශ්‍රී ලංකාවේ පමණක් නොව ගෝලීය වශයෙන්ද අදාළ වේ.

අද ක්‍රීඩාව කොක්කෙන් හෝ කෙක්කෙන් ජයග්‍රහණය කිරීමේ න්‍යාය ක්‍රියාවට නංවන තත්වයට
පැමිණ තිබෙනවා. මුදල් ඉදිරියේ ජයග්‍රහණ පවා අහිමි වී ඇත. එය ක්‍රීඩාවේ සහ ක්‍රීඩා පරිපාලනයේ
සෑම අංශයකම පැතිර යන පිළිකාවකි.
ප්‍රධාන කථිකයා ලෙස මගේ කතාව හොඳ හිත, ක්‍රීඩාශීලිත්වය යන සියල්ලටම වඩා දූෂණයෙන් හෝ
වංචාවෙන් තොරව සියලු ක්‍රීඩා කටයුතු සිදු කළ යුතු යැයි ආයාචනයක් කිරීමක් දක්වා ගෙන යාමට මම
කැමැත්තෙමි.
පසුගිය වසරේදී ප්‍රථම වරට පැවැති “සබුද්ධි“ ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට මා සහභාගි වූ
අවස්ථාවේදී, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තම ධූර කාලය ආරම්භ කළ විෂය භාර නව ඇමැතිවරයා
ඉදිරියේ කතා කිරීමට ලැබීම ගැන මම සතුටට පත් වූයෙමි.
අලුතින් තේරී පත් වූ ජාතික ක්‍රීඩා සභාවට (NSC) මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් විශිෂ්ට
තත්ත්වයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් විය. ක්‍රීඩා සම්මේලනවලට සහ ඉහළ කාර්ය සාධන
වැඩසටහන් සඳහා වගවීම සහ විනිවිදභාවයෙන් යුතුව අරමුදල් ලබා දීම සඳහා මෙහෙයුම් ක්‍රියා පටිපාටි
සකස් කිරීමට NSC වෙත පූර්ණ බලය ලබා දී ඇත. මෙය මීට පෙර කිසි දිනෙක සිදු නොවීය.
එහෙත් පෞද්ගලික න්‍යාය පත්‍ර සමඟ ක්‍රීඩා සම්මේලන තුළ ක්‍රියාත්මක වන වැරදිකරුවන්ට එරෙහිව
දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීම සහ උදාසීනත්වය පිළිබඳ දුක්ඛිත ගැටලු රාශියක් තිබුණද , ගරු
ක්‍රීඩා අමාත්‍යතුමා ආරම්භ කළ තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි මම තවමත්
විශ්වාස කරමි.
ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ අපි අපගේ පළමු පදක්කම්ලාභී ඩන්කන් වයිට් දෙස බලා සිටි විශිෂ්ට ක්‍රීඩා
ලෝලීන්ගේ රටක් වන අතර මෙම ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරය ඔහුගේ නමින් කැප කර ඇත්තේ
ඔහුට ගෞරවයක් ලෙසින්.
පසුව අපේ කාලයේ ආසියාවේ වේගවත්ම කාන්තාව, 2000 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක්
දිනූ විශිෂ්ඨ සුසන්තිකා ජයසිංහ සහ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ
ලොව ජයගත් රට බවට පත් විය.
එය අපගේ ඉතිහාසයයි, නමුත් අපගේ ජාතික මට්ටමෙන් අද ක්‍රීඩාව කණගාටු තත්වයකට ඇද
වැටෙමින් තිබෙන්නෙ. ඔබ අවට බලන විට, දක්ෂතා බහුල නමුත් දක්ෂතා උපයෝගී කර ගැනීම සහ
පදක්කම් දිනා ගැනීම සඳහා මෙම තරුණයින් ඔවුන්ගේ කුසලතා වර්ධනය සඳහා බලමුලු ගැන්වීමේ
ක්‍රියාවලියේ විශාල හිඩැසක් ඇති බව පේනවා.
පසුගිය ක්‍රීඩා පරිපාලනයන් යටතේ පිහිනුම් තටාක ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අධික
පිරිවැයක් දරා දිවයින පුරා තටාක විශාල ප්‍රමාණයක් ඉදිකළ බව ඔබ විශ්වාස කරනවාද? අද අපට ඉන්න
හොඳ පිහිනුම් ක්‍රීඩකයින්ට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රටේ පිහිනුම් තටාක තිබෙනවා.
ජාතික අරමුදල්වල මෙම දැවැන්ත නාස්තියට අද කිසිදු වගකිව යුත්තෙක් නැහැ. මා මේ කී දේ
පිළිබඳව ඔබට අවශ්‍ය නම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විස්තර ලබා ගත හැකියි.
ක්‍රීඩා මාධ්‍යවේදීන් වන ඔබ විසින් අපගේ ක්‍රීඩා හැකියාවේ වැරදී ඇත්තේ කොතැනද කුමක්ද යන්න
ගැඹුරින් විග්‍රහ කළ යුතුයි.
අපට වඩා ඉතා කුඩා රටවල් එම කාර්යය භාර ගෙන තිබියදීත්, අපගේ පුරාවෘත්තයන් විසින් නිර්මාණය
කරන ලද ගම්‍යතාවය පවත්වා ගෙන ගොස් ක්‍රීඩා විශිෂ්ඨයන් බිහි නොකළේ මන්ද? යන්න සොයා
බැලිය යුතුයි.
සමහර විට අපගේ අවධානය වැඩිපුර යොමු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට විය හැකියි. එහිදී
පරිපාලකයින්ගේ අක්‍රමිකතා නිසා ඇතිවන ඇණුම් බැනුම් කතාබහට ලක්වී තිබෙනවා.
අපගේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් සහ අනෙකුත් පුළුල් මට්ටමෙන් ක්‍රීඩා කරන ක්‍රීඩා, මලල
ක්‍රීඩා, පාපන්දු, හොකී සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවන්ගේ ඔලිම්පික් හෝ ලෝක මට්ටමෙන් සනිටුහන්
කිරීමට ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා නැහැ.
ජාතික ක්‍රීඩා සභාවේදී අපට පෙනී ගියේ ජයග්‍රහණය සඳහා පුහුණුවීම් කෙරෙහි අවධානය යොමු
නොකිරීම සහ කඩිසර නිසි පුහුණු ක්‍රමවේදයක් පිළිපැදීමේදී විනයක් නොමැතිකමයි.
ජාතික ක්‍රීඩා සභාව සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව මූල්‍ය ආධාර සඳහා හිඩැස් හඳුනා ගනිමින් සිටිනවා.
ජලය සහ පිහිනන්නන් එනතෙක් බලා සිටින පිහිණුම් තටාක වැනි පිහිනුම් ව්‍යාපෘති මෙන් නොව එහි
සැබෑ අරමුණ සඳහා මෙම අරමුදල් භාවිතා කරනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙනවා.

ජාතික ඔලිම්පික් කමිටුව (NOC) තරඟකරුවන්, සහායක කාර්ය මණ්ඩලය, නිලධාරීන්, වාර්තාකරුවන්
සහ තම මිතුරන් විශාල පිරිසක් රාජ්‍ය මුදල් වියදම් කොට ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියන්ට යවන
නමුත් අවසානයේ එය ජයග්‍රහණ නොමැති රටට බරක් පමණක් වන තත්වයකට පත්කර ඇත.
ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා ජාතික සංචිතයට ඇතුළත් කිරීම සහ ක්‍රීඩකයින් යොදවා ගැනීමේදී වඩාත්
වැදගත් වී ඇත්තේ මූලික වශයෙන් ජාතික රාජකාරියට වඩා එහා ගිය විනෝද ගමනක් ලෙස ය.
බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී කරවීමේ බල අධිකාරිය ඇත්තේ NOC (එන්ඕසී.)
යටය. ඔවුන් විසින් බොහෝ වියදම් ක්‍රීඩා අමාත්‍යාංශයට පවරන නමුත් බල අධිකාරිය සඳහා පමණක්
සීමා වූ රාජ්‍ය නොවන සංවිධානයක් වැනි එන්ඕසි.ය තනතුර පවත්වා ගෙන යාම හැර රටේ ක්‍රීඩාවේ
කිසිදු අසාර්ථකත්වයකට වගකීමක් නොදක්වයි.
මෑතකදී වාර්තා වූ පරිදි විශාල කණ්ඩායම් රට නියෝජනය කරමින් විනෝද සවාරි ගොස් වෙනත්
ව්‍යාපාර වල පවා යෙදී තිබීම ඊට එක් හේතුවකි.
ක්‍රීඩාවේ සියලු ආකාරයේ වංචා තුරන් කිරීමට ප්‍රකාශ කරන රටේ ඉහළම ක්‍රීඩා පරිපාලන ආයතනයක්
ලෙස මෙසේ කටයුතු කිරීම දූෂිත සහ වංචා සම්බන්ධ පද්ධතියක කොටසක් නොවේද?
මෑතකදී පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී , ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවේ සියලු ආකාරයේ වංචා
හා දූෂණ තුරන් කිරීම සඳහා වගන්තියක් සම්මත කර ඇති බව සඳහන් කිරීම සිත්ගන්නා කරුණකි.
එන්ඕසී. ය මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ආසන්නයේ වංචා දූෂණ ඇති බව ඔවුන් තේරුම්
ගත්තේ ඇයිද සහ කෙසේද? යන්න ප්‍රශ්නයකි.
පසුගිය එන්ඕසී. මැතිවරණය බැලුවොත් ක්‍රීඩා ගවේෂණාත්මක මාධ්‍යවේදියාට තේරේවි, ඒ ඇයි
කියලා.
ඒක පාර්ශ්වික ක්‍රියාවලියට අනුව කටයුතු කරනා එන්ඕසී. ය අවසාන වශයෙන් තීරණය ගන්නේ ජිනීවා
මූලස්ථානයේ අයි.ඕ.සී. පමණක් අනුව බව සෑම දෙයක්ම වසන් කරන්න නිදහසට කරුණක් ලෙස
පවසනවා. ශ්‍රී ලංකාවේ අධිකරණයකින් සහන පැතීමද එන්ඕසී. ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබෙනවා.
රටේ ක්‍රීඩාවේ ඉහළම ආයතනය විවේචනය කිරීම පවා අපේ රටේ අධිකරණයට සම්පූර්ණයෙන්
අගෞරවයක් වන අයුරින් ඔවුන් වෙනස් කරලා. අනුබද්ධ සම්මේලන සහ පුද්ගලයන්ට තහනම්
පැනවීම් දැන් තවත් වැඩි කරලා.
අමාත්‍යතුමනි, අමාත්‍යාංශයේ නිලධාරී මහත්වරුනි, ක්‍රීඩා සම්මේලන සඳහා පවත්වන නිලවරණවලදී
යුක්තිය ඉටුකර දෙන මෙන් අපගේ ක්‍රීඩා සම්මේලන, ඔබ වෙත නැවත නැවතත් ආයාචනා කරනවා.

ගවේෂණාත්මක ක්‍රීඩා මාධ්‍යවේදීන් වන ඔබ නිරන්තරයෙන් මෙම ගැටළු ඉස්මතු කර තිබෙනවා ,
නමුත් අවාසනාවකට මෙම බරපතල අසාධාරණයන් නිවැරදි කිරීමට විශ්වාසදායක ක්‍රියාමාර්ගයන් ඊට
වගකිවයුත්තන් ගෙන නැහැ.
පාර්ලිමේන්තු පනතකින් තහවුරු කර ඇති සියලුම ක්‍රීඩා සඳහා වගකියන ව්‍යවස්ථාපිත ආයතනය වන
ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ ස්වාධීන නිලවරණ කමිටුවක් හමුවේ තේරී පත් වූ ප්‍රමුඛ
පෙළේ සංගම් තුනක් වන පිහිනුම්, අත්පන්දු සහ පාපැදිවල නිලධාරී මණ්ඩල දේශපාලන මැදිහත්වීම්
උපුටා දක්වමින් පසුගියදා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී පැහැදිලිවම එන්ඕසී.ය විසින් නොසලකා
හැරියා.
ක්‍රීඩා අමාත්‍යාංශයේම අධීක්‍ෂණය යටතේ නිලධරයන් තෝරා පත් කර ගැනීමේ එකම මාවතක ගමන්
කරන තවත් ක්‍රීඩා සම්මේලන කිහිපයක් එම නීති රාමුව තුළම එන්ඕසී. ය පිළිගන්නවා.
අපට නිගමනය කළ හැක්කේ පසුපෙළ සම්මේලන නිලධාරීන් ඇතුළත් කරල අනෙක් අය බැහැර කර
ඇති බවයි.
දේශපාලනයෙන් වෙන් වූ ව්‍යවස්ථාපිත ආයතනය ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය මේවාට විරුද්ධව
ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි?
ඉන්පසු නැවතත්, රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළ වංචනික මුදල් ගණුදෙනුවක් සම්බන්ධව
2019 වසරේ විගණකාධිපතිවරයා විසින් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබුණා.
ඒ සලදහා පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණා, මෙරට ක්‍රීඩාවේ ඉහළම ආයතනයේ ඉහළම තීරණ
ගන්නන්ට පිරිසිදු බවක් ලබා දෙමින් එම වංචා කාපට් යට සැඟවූ බවක් පේනවා. මේවා අපිට
ප්‍රහේලිකාවක් ඇමතිතුමනි.
ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා භාණ්ඩ ආනයනය කරන වෘත්තිකයන් කිහිප දෙනෙකුට සහ
පුහුණුකරුවන්ට නවාතැන් දෙන අතරවාරයේ පුහුණුකරුවකු යැයි කියමින් ඒ මුවාවෙන් ඩයන්
ගෝමස් මහතා ඉවත් කිරීම ගැන මම බොහෝ විට කතා කර තිබෙනවා. එම ඉවත්කිරීම ව්‍යවස්ථා
විරෝධී අසාධාරණ වැඩක්.

කේක් ගෙඩියේ අයිසිං තියනව වගේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා පවතින
ස්වාධීන නිලවරණ කමිටුවටම තවත් වාරයකට අවස්ථාව දීල එයාම අවශ්‍ය වටපිටාව හදාගන්නවා.
ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ස්වාධීනත්වය සහ වගවීම පිළිබඳ මූලික
මූලධර්ම උල්ලංඝනය කරමින් මේ කටයුතු කරන්නෙ.
අමාත්‍යතුමනි,
ජාතික ඔලිම්පික් කමිටුවේ අනුශාසක අතිගරු ජනාධිපතිතුමා බව මම මෙහි සටහන් කිරීමට
කැමැත්තෙමි. ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රියාත්මක කරනා මෙම උල්ලංඝනය කිරීම් පිළිබඳව
ගැඹුරින් සලකා බැලීම අවශ්‍ය වේ. නොඑසේ නම් කඩිනම් නිවැරදි කිරීම් සඳහා අවශ්‍ය යැයි සලකන
ක්‍රියාමාර්ග සැඟවුණු තර්ජනයන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයිඕසී.) දෙසින් පැමිණිය හැකියි.
ඉස්තාලය පිරිසිදු කරන තුරු මිස ක්‍රීඩකයන්ගේ නිදහස් මානසිකත්වය සහ ඔවුන්ට බාධාවකින් තොරව
තම අරමුණු කරා ළඟා වීමේ බලාපොරොත්තුවක් මට නම් නොපෙනේ.
මම මෙතැන් සිට ක්‍රීඩා පරිපාලනයේ යුක්තිය සහ සාධාරණ ක්‍රීඩාව වෙනුවෙන් කරන සටනේ
නොසැ‍ළෙන ඉදිරි පෙරගමන් කරුවකු වන්නෙමි.
මම හුදකලා වූ වෘකයකු මෙන් විය හැකිය, නමුත් මම පිටත සිටින විට ඇතුළත සිටිනවාට වඩා බලවත්
වනු ඇත.
ඔබ ආදරණීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ට කැමති නමුත් මගේ ප්‍රකාශය ඔබට කුමන ආකාරයකට හෝ
අර්ථකථනය කළ හැකියි. අප භාරකරුවන් යැයි විශ්වාස කරන පුද්ගලයන්ගේ සහය ඇතිව හෝ නැතිව
ප්‍රබල ජයග්‍රහණයක් සඳහා මෙම සටන කේන්ද්‍රස්ථානය දක්වා ගෙන යන කැපවූ ශක්තිමත් පිරිසක්
සිටිති.
සිරිනාම රාජපක්ෂ හා තමීර මංජු යන මහත්වරුන් ප්‍රමුඛ මෙම උත්සවයේ සංවිධායකයින්ට මෙන්ම
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ප්‍රධාන අනුග්‍රාහකයන් වන SLT-MOBITEL වෙත මම ස්තුති වන්ත වෙමි.
සම්මානලාභීන්ටද මගේ සුබ පැතුම් එක්කරමි..!