4 වැනි ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12ක්.

බහරේනයේ මනමා නුවරදී පසුගියදා නිමාවට පත්වූ 4 වැනි ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී
ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා සහ පිහිනුම් ඉසව් වලින් පදක්කම් 12ක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව
දින 7ක් පුරා පැවැති තරග වලදී පිහිණුම් ඉසව්වලින්, පදක්කම් 5 ක් සහ සෙසු පදක්කම් 7 මලල ක්‍රීඩා
ඉසව් වලින් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ලයිසියම් ඉන්ටර්නැෂනල් පාසැලේ ගලීනා බස්නායක S6-10 මීටර් 400 නිදහස් ආර (විනා. 5:25.27),
මීටර් 100 නිදහස් ආර (විනා. 1:12.09), මීටර් 50 නිදහස් ආර යන ඉසවි වලින් රන් පදක්කම් ත්‍රිත්වයක්
දිනා ගත් අතර , S6-10 මීටර් 100 සමනල ආර ඉසව්වෙන් (මිනිත්තු 1:32.86) රිදී පදක්කමක් දිනා
ගත්තාය. .

ශ්‍රී ලංකාව අත්කරගත් අනෙක් එකම රන් පදක්කම M U17 දුර පැනීමේ ඉසව්වේදී කැකුනගොල්ල
අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් සෆ්රාන් විසින් මීටර් 5.60 දුරක් වාර්තා කරමින් ලබා
ගන්නා ලදී . ඔහු M U17 මීටර් 100 ධාවන ඉසව්වෙන් තවත් රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත් විය.

ජේසන් ජයවර්ධන පිටිය ඉසව් වලදී රිදී පදක්කම් 2 ක් දිනා ගත්තේ , යගුලිය විසිකිරීම (මීටර් 6.64)
සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව් වලිනි.

ජනනි වික්‍රමසිංහ ජවන හා පිටිය ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 3ක් සටහන් කළාය. තත්ත්පර 29.36
කින් මීටර් 200, මීටර් 100 සහ දුර පැනීම (මීටර් 4.38) ඉසව් වලදී එම පදක්කම් තුන ඇය හිමිකර
ගත්තාය. තවද නවීඩ් රහීම් මීටර් 400 නිදහස් ආර පිහිණුම් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා
ගත්තේය.

ශ්‍රී ලංකා පිහිනුම් ප්‍රවීණයකු වන ජූලියන් බොලිං බහරේනයේ ගිය පිහිනුම් කණ්ඩායම් දෙකේ
පුහුණුකරු ලෙස කටයුතු කළ අතර නලින්ද සෙනරත් මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස සංචාරයට එක්විය.
ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු වන ප්‍රියන්ත පීරිස් මෙම සංචාරයේදී ශ්‍රී ලංකා
කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.