සචිත‍්‍ර වැරදිනම් වසර දහයක සිර දඩුවමක් හෝ ලක්ෂ පහක දඩයක්

මල්ලි අරම කරමු කියපු කතාවක් දුර දිග ගිහින්
සචිත‍්‍රගේ වත්මන් සහ බැරකම් දින 14 ක් ඇතුළත ඉල්ලයි
ක‍්‍රිකට් තරග පාවාදීමකට සම්බන්ධව මේ වන විට කට උත්තර ලබාදෙමින් සිටින හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක අදාළ සිද්ධියේදී වැරදිකරු වුවහොත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතිය අනූව ඔහුට වසර දහයක සිරදඩුවමකට හෝ රුපියල් ලක්ෂ පහක දඩයකට යටත්වීමට සිදුවනු ඇතැයි අදාළ නීති සම්බන්ධයෙන් කළ විමසීමකදී අනාවරණය විය.
එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වීමත් සමග සචිත‍්‍ර සේනානායක විසින් තරගාවලිය නියෝජනය කළ ක‍්‍රීඩකයකුට දුරකථනයෙන් කතා කොට ‘මල්ලි ඔයාට මැච් ෆික්ෂින් කළානම් ඔයිට වැඩිය ගාණක් හොයා ගන්න තිබුණා.’’ යැයි සඳහන් කර තිබේ. අදාළ ක‍්‍රීඩකයා විසින් මේ සම්බන්ධව වගකිව යුතු නිළධාරීන් දැනුවත් කිරීමෙන් පසුව සචිත‍්‍රට ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශණ ඒකකය හමුවේ පෙනී සිටීමට සිදුවිය.
පළමුව සචිත‍්‍ර විසින් අදාළ ඒකකයට පැමිණීම මග හැරි අතර අනතුරුව අධිකරණය හමුවේද සචිත‍්‍රට පෙනී සිටීමට සිදුවිය. පළමු දිනයේදී ඔහු ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැය අටක් කට උත්තර ලබාදී තිබේ. අනතුරුව දෙවැනි දිනටත් ඔහුව අදාළ විමර්ශණ ඒකකයට කැඳවූ අවස්ථාවේදී සියලූ වත්කම් සහ බැරකම් දින 14ක් ඇතුළතලබා දෙන ලෙසට නියම කර ඇත.
සචිත‍්‍ර විසින් ලබාදෙනු ලබන වත්කම් සහ බැරකම් ඔස්සේ ඉදිරි විමර්ශණ කටයුතු සිදුකරන අතර ඔහු විසින් අදාළ ක‍්‍රීඩකයාට දුරකථනයෙන් කළ කතා බහ පටිගත වී නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ විමර්ෂණ ඒකකයද මේ සම්බන්ධයෙන් පරීක්ෂ සිදුකරමින් පවතී.