ප්‍රියන්ත කුමාර ඝාතකයන්ට සියල්කොට් නීතිඥයන් ගෙන් හොඳ මට්ටුවක්

අන්තවාදී ආගමික කල්ලියක මිලේච්ඡ පහරදීම් හමුවේ පසුගිය 3 වනදා පාකිස්ථානයේ සියල්කොට්
නගරයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ නඩු කටයුත්තේදී විත්ති පාර්ශවය වෙනුවෙන්
නීතිඥ සහය ලබා නොදීමට පකිස්ථානයේ සියල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණය කර තිබේ.

සියල්කොට් නීතිඥ සංගමයේ නීතිඥවරුන්ගේ මෙම නව තීරණයට අනුව එම ඝාතනය සම්බන්ධයෙන්
චෝදනා ලැබ සිටින කිසිදු විත්තිකරුවෙකුට එම සංගමයේ නීතිමය සහය නොලැබෙනු ඇත.

පසුගිය දා සියල්කොට් හිදී පැවති නීතිඥ සංගම් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති
බවටපාකිස්ථාන මාධ්‍ය වාර්තා කළ අතර එහිදී මෙම ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස
විධායක කමිටු සාමාජිකයන් විසින් සාකච්ඡාවට ලක්කරන ලදී. තවද මෙම ම්ලේච්ඡ සිද්ධිය
සම්බන්ධයෙන් ඔවුන්ගේ බලවත් කනස්සල්ල හා අප්‍රසාදය පළ කිරීමටත් එහිදී එකගතාව පළවීතිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් සැකකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගුජරන්වාලා ත්‍රස්ත මර්දන
උසාවියේ චෝදනා ගොනුකර ඇති අතර එම සැකකරුවන් කිසිවෙකුට නීතිඥ සහයක් ලැබී නැති බවටද
වාර්තා වේ. ඒ අනුව අදාළ සැකකරුවන් තවත් දින 13ක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා
අතර සිද්ධියට අදාළ නඩුව ලබන 21 වනදා යළි කැඳවීමට තීරණය ක‍ළේය.

CCTV කැමරා දර්ශන සහ ජංගම දුරකථන වීඩියෝ දර්ශනවල ඇති මුහුණු හඳුනාගැනීමේ නව තාක්ෂණය
භාවිත කරමින් සිද්ධියට සැකපිට මේවන විටත් සැකකරුවන් 140ක් අත්අඩංගුවට ගැනීමට පන්ජාබ්
පොලිසිය සමත් වී තිබෙනවා. ඊට අමතරව ප්‍රියන්ත කුමාර දියවඩන සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් සේවය
කළ රාජ්කෝ කර්මාන්ත ශාලාවේ සේවකයින් 345 දෙනනෙකු ආරක්ෂක අංශ විසින් ආරක්ෂිත නිවස්නයක
රඳවාගෙන ප්‍රශ්ණ කරන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ අමානුෂික ඝාතනයත් සමඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන කටයුතු
සිදුකරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර
තිබෙන අතර පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ
ඇත්තේ ශ්‍රී ලාංකික විගණන ආයතන බවයි.