කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මැලේසියා සංචාරයටත් බාධා පුහුණුකරු හෂාන්ටත් කොවිඩ්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 9දා මැලේසියාවේ සංචාරය කිරීමට නියමිතව ඇතත් ඊට
දින 6කට පෙර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නට කොවිඩ්-19 ආසාදනය වී ඇති
බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව ඔහුට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය සඳහා ජනවාරි
9 වැනිදා පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මැලේසියාවේ සංචාරය අහිමි වනු
ඇත. එබැවින් හෂාන් තිලකරත්න වෙනුවට සහාය පුහුණුකරු ලංකා සිල්වා කණ්ඩායමේ ප්‍රධාන
පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇතැයි පැවැසේ.
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා
යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චමරි අතපත්තු යටතේ තරග වදිනු ඇත. සංචිතය ක්‍රීඩිකාවන් 16
දෙනෙකුගෙන් සමන්විත වන අතර අමතර ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුද නම්කර ඇත. නිලධාරීන් හා
නිලධාරිනියන් 9 දෙනෙක්ද කණ්ඩායම සමඟ සංචාරය කරන අතර මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය
ජනවාරි 18 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතය.
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 සිට අගෝස්තු 8 දක්වා එංගලන්තයේ බර්මින්හැම්හිදී
පැවැත්වේ.