SLT-MOBITEL නව සන්නාම තානාපති වනිඳු හසරංග

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITELහි සන්නාම තානාපති ලෙස තුන් ඉරියව්වෙන් දස්කම් පාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නම් කර තිබේ. ක්‍රිකට් පිටියේදී පෙන්නුම් කරන දක්ෂතා මෙන්ම අධිෂ්ඨානය, උනන්දුව හා කැපවීම වැනි ගුණාංග හේතුවෙන් වනිඳු හසරංග මෑත කාලීනව ක්‍රිකට් ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. සෑම විටම නව පරපුරේ දක්ෂයන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට අත්වැලක් වන SLT-MOBITELහි ආයතනික වටිනාකම්ද මේ ගුණාංගවලට බෙහෙවින් සමාන වන නිසා තම සන්නාම තානාපති ලෙස වනිඳු හසරංග පත් කිරීමට SLT-MOBITEL කටයුතු කළේය.

රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන හසරංග මේ වන විට ලොව අංක එකේ T20 පන්දු යවන්නා බවට පත් වී ඇති අතර, ලොව විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයන් 10 දෙනා අතරටද එක් වී සිටී. SLT-MOBITEL සන්නාම තානාපති ලෙස තරුණ පරපුරේ ක්‍රීඩා ලෝලීන් සමඟ පෙරටත් වඩා සමීපව කටයුතු කිරීමට වනිඳු හසරංගට අවස්ථාව ලැබෙනු ඇත.