කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙරේදා (2දා) නිකුත් කර තිබුණි. ඒ අනුව දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා සියලු‍ ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවය. එම කරුණු වන්නේ,
1.කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණි. ආමාශ ආන්ත්‍රික ද්වාරය ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.
2. වෛරසය වර්ධනය විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්ත්වයෙන් එයට සැලකිය යුතු කාලයක් පැවතිය නොහැක.
3.පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුකළ ඡක්‍ඍ ප්‍රතිඵල ධනාත්මක වුවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් ඇති නොවේ.
4.භූමදාන කළ මළ සිරුරුවලින් ඇති විය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ
බහිස්‍රාවීය ද්‍රව්‍යයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකිය.
5. භූගත ජලයෙන් වෛරස් අංශු අවස්ථා කිහිපයකදී හමුවූ බව වාර්තා වුවත් එම වෛරස ආසාදිත තත්ත්වයේ ඇති බවට වාර්තා වී නැත. මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලු‍වෙන්සා සහ සාර්ස් වැනි වෛරස් සම්බන්ධයෙන් කළ ගැඹුරු අධ්‍යයනවලදී පවා එවැනි ආසාදන පිළිබඳ වාර්තා නොමැත.
6. ඩෙන්මාර්කයේ ඝාතනය කර භූමදානය කළ මුගටියන් නැවත ගොඩගෙන ඇත්තේ වෛරසය මගින් ජල මූලාශ්‍ර දූෂණය වීමක් නිසා නොව, දිරාපත් වන මුගටියන්ගේ මළ සිරුරුවලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මුලාශ්‍ර දූෂණය වීම නිසාය.
7.ජලය ආශ්‍රිතව බෝවන කොළරාව වැනි දරුණු රෝගවලදී පවා මළ සිරුරු භූමදානය කෙරේ.
ඒ අනුව මෙම විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඞ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය නිවේදනයෙන් පවසයි.