මොයින් අලිත් කොවිඩ්-19ට ගොදුරු වෙයි

එංගලන්ත කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී චිත්‍රාල් මෙන්ඩිස්ව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට කැඳවයි?

ලෝක ටෙස්ට් ශූරතාව වෙනුවෙන් ටෙස්ට් තරග 02ක සංචාරයක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන මොයින් අලි ‘කොවිඩ්-19’ රෝගයට ගොදුරු වී ඇති බව අද (04දා) එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය යොමු කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනුයේ මොයින් අලිට අමතරව ක්‍රිස් වෝක්ස්වද හුදෙකළා කර තැබීමට පියවර ගෙන ඇති බවයි.
එංගලන්ත කණ්ඩායම ඊයේ (03දා) දිනයේ විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි අතර මෙරටට පැමිණීමට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී කිසිදු ක්‍රීඩකයෙකු ධනාත්මක නොවුණි.
කෙසේ වෙතත් මෙරටට පැමිණීමෙන් පසු සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී මොයින් අලි ‘කෝවිඩ්-19’ ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිරෝධායන නීති අනුව අලිට දින 10ක කාලයක් හුදෙකළා වී සිටීමට සිදුවනු ඇත. එමෙන්ම මොයින් අලීට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය බොහෝ දුරට අහිමි වනු ඇතැයි වාර්තා වේ.
මේ අතර මොයින් අලි සමඟ සමීප සබඳතා පවත්වා ඇති ක්‍රිස් වෝක්ස්වද ආරක්‍ෂිත පියවරක් ලෙස හුදෙකළා කර තැබීමට තීරණය කර ඇත. සංචාරක එංගලන්ත කණ්ඩායමේ දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණ හෙට (05දා) දිනයේ සිදු කිරීමට නියමිතය.
මේ අතර එංගලන්ත කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී (liaison officer) ලෙස කටයුතු කළ චිත්‍රාල් මෙන්ඩිස් මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඊට හේතුව ලෙස වාර්තා වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දු මහතා සමග ඔහු සමීප සබඳතා පවත්වා තිබීම හේතුවෙනි. ට්‍රැවිස් ප්‍රනාන්දු මහතාට කොවිඩ්-19 ආසාධනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (03දා) නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මෙම මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතය.