මේ රටේ දේශපාලනඥයො වගේම ක්‍රීඩා පරිපාලකයොත් අන්ත දූෂිතයි – ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති, රොහාන් කියයි

“අද අපි දකින දෙය නම් මෙරට ක්‍රීඩා පරිපාලන ක්‍රමය මුළුමනින්ම දූෂිත තත්වයකට පත්කරලා. මේ රටේ දේශපාලනඥයාට පසුව සිටින නරකම දූෂිතයන් වන්නේ ක්‍රීඩා පරිපාලකයන්. ඔවුන් තම රාජකාරිය කරන්නේ පිටරට ගොස් මුදල් ඉපයීමට සහ ක්‍රීඩාව ආදායමක් කරගැනීමටයි. ක්‍රීඩාවට පවා සහභාගී නොවූ එවන් සමහරුන් ඉන් පෙර කවදාකවත් නොවූ බලවත් අයෙකු වීමටත් ක්‍රීඩාව යොදා ගන්නවා. නමුත් මේ ඔරු පැදීමේ ක්‍රීඩාව හා පරිපාලනය ඊට වඩා වෙනස්. අද ඔරු පැදීමේ සංගමය මෙරට හොඳම ක්‍රීඩා පාලන ආයතනය වලින් එකක්.“ යනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් සමූහ ව්‍යාපාරයේ සභාපති
රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පසුගිය සති අන්තයේ දියවන්නාවේදී පැවැති 37 වැනි කනිෂ්ඨ සහ අතරමැදි ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
” කාර්ය සාධනය සඳහා වියදම් කරන අපේ අරමුදල් වලට වගකියන සැබෑ ක්‍රීඩා පරිපාලකයින් සිටින ක්‍රීඩා ආයතනවලට සහය දැක්වීමට සහ දිරිගැන්වීමට අපි, ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්, තීරණය කර තිබෙනවා,” යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ සමාප්ති උත්සවයේදී ටෙලිකොම් සභාපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
“මෙම අවස්ථාවට මට සහ මගේ බිරිඳට ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම මගේ ස්තුතිය සහ ප්‍රශංසාව ඔරු පැදීමේ සංගමයේ සභාපති ඇතුළු විධායක සභාවට පිරිනමනවා. මම අද මෙතනට ආවෙ වගකීම් දෙකක් හිස මත දරාගෙනයි. ඒ කියන්නෙ SLT-MOBITEL සමූහයේ ප්‍රධානියා ලෙස සහ ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙසයි.
ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් අපි ජාතිය ගොඩනැගීම සඳහා එහි වගකීම් පිළිබඳව දැනුවත්. පරිසරය, සමාජයීය හා පාලන මූලෝපාංග වලට අනුව අපගේ කණ්ඩායම ජනතාවට සහ රටට දිගුකාලීන ප්‍රතිලාභ සහිත ජාතික අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවලට සම්බන්ධ විය යුතුයි.
ක්‍රීඩාව යනු තරුණ හා එතරම් තරුණ නොවන අය විනයගරුක, සහ අවංක පුරවැසියන් බවට පත් කිරීම මඟින් ජාතිය ගොඩනැගීම සඳහා යොදා ගත හැකි අත්‍යවශ්‍ය එක් අංශයකි.
අද ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ අප අවට දකින්න ලැබෙන්නෙ බලයට හා මුදලට ක්‍රීඩා සංගම්වල තනතුරුවල එල්ලී සිටින අයයි. වෙනත් වචන වලින් කිවහොත්, ක්‍රීඩා පාලනය මූලික වශයෙන් දූෂිත වෙලා කූඩැල්ලන් වැනි බොහෝ පරිපාලකයින් එම තනතුරු වල එල්ලී සිටින්නේ ක්‍රීඩාවේ දියුණුව සඳහා නොවෙයි ඔවුන්ගේම ස්වයං දියුණුව සඳහායි.
කාර්ය සාධනය සඳහා වියදම් කරන අපේ අරමුදල් වලට වගකියන සැබෑ ක්‍රීඩා පරිපාලකයින් සිටින ක්‍රීඩා ආයතනවලට සහය දැක්වීමට සහ ඔවුන් දිරිගැන්වීමට අපි, ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්, තීරණය කර තිබෙනවා. සෑම සතියකම අපට අනුග්‍රාහකත්ව ඉල්ලීම් ලැබෙනවා. අලෙවිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවක් මගින් එම ඉල්ලීම්වල සත්‍යතාව සළකා බලල සහ අපගේ සංවිධානයට ලැබෙන ප්‍රතිලාභ තක්සේරු කරමින් පදක්කම් දිනන කාර්ය සාධනයක් කරා යන ගමනේදී අප ක්‍රීඩාවේ හවුල්කරුවන් ලෙස කටයුතු කරනව.
නිරායාසයෙන්ම අපි ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ක්‍රීඩා සභාවේ මගපෙන්වීම් දෙස බලනවා. මේ වසරේ අපි දැනටමත් ක්‍රීඩා ආයතන කිහිපයක් සමඟ ක්‍රීඩාවේ සංවර්ධනයට සහාය වී තිබෙනවා.
දැන් නැවතත් මගේ හදවතට සමීප ඔරු පැදීම ක්‍රීඩාව ගැන කතා කළොත්, පසුගිය වසර 10 සිට 15 දක්වා කාලය තුළ එහි විශිෂ්ට වර්ධනයක් මම දුටුවා. වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් සීමා වූ මෙම ක්‍රීඩාව අද හොඳ ශරීරයක් සහ අධිෂ්ඨානශීලී කැමැත්තක් ඇති ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ජාතික ඔරු පැදීමේ සංගමය හෙවත් ශ්‍රී ලංකා ඔරු පැදීමේදී අපිට අපේම කියා ලිපිනයක්වත් නොමැතිවයි ගමන ආරම්භ කළේ.
වියදමට හරි හමන් මුදලක් තිබුනෙත් නෑ. දියුණුව ගැන බලාපොරොත්තුවක් තිබුනෙ නැහැ. උදව් කිරීමට පවා කිසිවෙකු සූදානම් වෙලා හිටියෙ නැහැ. ඊට පස්සේ අවුරුදු දහයකට මඳක් වැඩි කාලයක් තුළ අපි නැඟිටල ආවා. බොල්ගොඩ වැවේ කිලෝ මීටර් 2ක ඔරු පැදීමේ ජාත්‍යන්තර ආකෘතියට අනුව තරග තියන්න ගියාම අපිට බොහෝ බාධක ආව. ලැබුණ අපහාස සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද අපි නව ගමනක් ආරම්භ කළා. අපි ආරම්භ කළ ඒ ගමනෙ ප්‍රතිඵල නිසා තමයි අද ඔරු පැදීමේ ක්‍රීඩාව මේ විදියට දියුණු වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා ඔරු පැදීමේ ක්‍රීඩාව සඳහා නිවහනක්, ලෝකයේ කිසිවකට නොදෙවෙනි පහසුකම් අද තියෙනවා. දිනෙන් දින වර්ධනය වන තරුණ සාමාජිකත්වය සහ ඇත්ත වශයෙන්ම සහයෝගිතාකරුවන්ගේ උනන්දුව සහ කැපවීම අද මේ ක්‍රීඩාව ලබා ඇති දියුණුවට පිටුවහළක්.
ක්‍රීඩාවකදී සහ ක්‍රීඩා පරිපාලනයේදී අධිෂ්ඨානයට සහ ආශාවට කළ හැකි දේ අද අපිට මෙහිදී අත්දැකීමට
හැකියාව ලැබුණා.
තරඟ 125කට වැඩි සංඛ්‍යාවකදී සම්පූර්ණ දින තුනක් පුරා තරඟ වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට ආසන්න ප්‍රමාණයක් අපි මෙම වේදිකාවට ගෙන ආවේ ඔවුන්ට නිසි ඇගයීම පිරිනැමීමටයි. මට නම් එය මා දුටු සිහිනය සැබෑවීමක්. වත්මන් සභාපති දිමුත් ඇතුළු කණ්ඩායමට ජාත්‍යන්තරය සමඟ යාමට මෙම තරගාවලිය තවත් හොඳ ආරම්භයක්.
හොඳින් ව්‍යුහගත සංවර්ධන වැඩසටහනක් යටතේ දක්ෂ විදේශීය පුහුණුකරුවෙකුගේ අධීක්ෂණය යටතේ පුහුණු කටයුත් සිදුවන බව පෙනී යනවා. ශ්‍රී ලංකාව ඔරු පැදීමෙන් වසරක් පුරා අත්කරගත් දේ දැක බලා ගැනීමට ඉන්දීය ඔරු පැදීමේ සම්මේලනයේ බාලාජි මද්දප මහතා දියවන්නාවට පැමිණ සිටීම ගැනත් මම සතුටු වෙනවා. ඔරු පැදීම ක්‍රීඩාවෙන් ලෝකයේ පැරණිතම රෙගට්ටා වලින් එකක් වන මැඩ්‍රාස්-කොළඹ ඔරු පැදීමේ තරගය (Madras Colombo Regatta)හරහා රටවල් දෙකක් ඒකාබද්ධ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් සමූහය ඔරු පැදීමේ ක්‍රීඩාවට අඛණ්ඩව සහයෝගය ලබා දීම ගැන මම සතුටු වනවා වගේම නුදුරු අනාගතයේ දී අපට සාර්ථක සහ ජයග්‍රාහී සංයෝජනයක් අපේක්ෂා කළ හැකි වනු ඇතැයි විශ්වාසය පළකරනවා.“