ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය, දැනුම, සෞඛ්‍ය අතින් 100% ක හැකියාවන් තිබුණද ප්‍රයෝජන ගන්නේ 58% යි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ලෝක ළමා දිනය නිමිත්තෙන් අමාත්‍යාංශය මගින් තලවතුගොඩ දියසරු උයන ආශ‍්‍රිතව සංවිධානය කර තිබූ ලෝක ළමා දින පරිසර චාරිකාව සහ පරිසර වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ දියසරු උයන ඉඩම අක්කර 40 කට ආසන්නයි. අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අවශ්‍ය නම් තිබුණා මේ ඉඩම් ගොඩකර නාගරික පහසුකම් ඇති හොඳ වාණිජ මධ්‍යස්ථානයක් හදන්න. එසේ කළා නම් සංස්ථාවට ඊළඟ වසර කිහිපයේ එම ආදායමම ඇති සංස්ථාව ඉදිරියට ගෙනයන්න. නමුත් අපි ඒ වෙනුවට මෙම ස්ථානය තෙත් බිමක් බවට බවට පරිවර්ථනය කළා. අනෙක් පැත්තෙන් බැද්දගාන ප‍්‍රදේශයේ තවත් තෙත්බිම් උද්‍යානයක් නිර්මාණය කරගෙන යනවා. ඒ කා වෙනුවෙන්ද? මේ අවට අප වගේම ජීවත්වන සතා සිව්පාවා වෙනුවෙන්. හුඟ දෙනෙක් හිතනවාට වඩා විශාල සේවයක් තෙත් බිම්වලින් සිදුවෙනවා. එක් පැත්තකින් ගංවතුර පාලනය කරන්න, අනෙක් පැත්තෙන් ජලය පිරිසිදු කරන්න වගේම හුස්ම ගන්න වාතය පිරිසිදු කරන්න. තවත් පැත්තකින් මේ කලාපයේ ජීවත්වන සතා සිව්පාවට ජීවත් වෙන්න අයිතිය ලබාදෙන්නයි එය කරන්නේ.

එදා මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස රජතුමාට දේශනා කළ පරිදි මේ මහපොළවේ අප භාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ. අපා, දෙපා,සිවුපා,බහුපා ආදී දිය ගොඩ සියළුම සතුන්ට මේ මහපොළව අයිතියි. 2007 දී මම පරිසර ඇමති ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයට යෝජනා කළා මෙය තමයි රාජ්‍ය පාලනයේ මූලධර්මය විය යුත්තේ කියා. අප කවුරුත් පිළිගත යුතුයි අපගේ ළමා කාලයට වඩා මේ දුවා දරුවන්ගේ කාලය දියුණුයි. ඉස්සර අපි පයින් පාසල් ගියේ. අද වාහන වලින් පාසල් යනවා. එදා පාසල්වල හොඳ ගොඩනැගිලි තිබුණේ නැහැ. පොල්අතු ගොඩනැගිලි තමයි හුඟක් තැන්වල තිබුණේ. අද හැම පාසලකටම හොඳ ගොඩනැගිලි තිබෙනවා. හොඳ ගුරුවරු ඉන්නවා. පරිගණක තිබෙනවා. නවීන දැනුම ලැබෙනවා. ඒ අතරේ එදා නොතිබූ විදිහට විශාල වැසි ඇද හැලෙනවා. කොළඹට, කොලොන්නාවට, කඩුවෙලට, අනවරතයෙන් පිළියන්දලට, බොරලැස්ගමුවට ගංවතුර ගලනවා. රටේ තවත් ප‍්‍රදේශ ජලය නැතිව නියඟයෙන් දුක් විඳිනවා. ඊළඟට රටේ කලක් සරුසාරව තිබූ කුඹුරුවලට මුහුදු වතුර ගලාගෙන ඇවිත් තවදුරටත් වගා කළ නොහැකි තැන් බවට පත්වෙලා.

මේවා සිදුවන්නේ මේ දේශගුණ විපර්යාස නිසා බව දන්න කියන අය ප‍්‍රකාශ කරනවා. ඇයි එසේ සිදුව තිබෙන්නේ, අර දියුණුව ලබාගන්න ගිය නිසා. වාහන දුවන්නේ පෙට‍්‍රල් වලින්, විදුලි බලය දුවන්නේ ගල් අඟුරුවලින්. මේ සියළු දේවල් නිසා පෘථිවියේ මහා තාපයක් රැඳී තිබෙනවා. කොටින්ම කියනවා නම් දෙවන ලෝක යුද්ධය අවස්ථාවේදී ඇමරිකාව ජපානයට හෙලපු පරමාණු බෝම්බ වගේ පන්ලක්‍ෂ ගුණයක් තෙල්, ගල් අඟුරු, ගෑස් දහනය නිසා තාපය රැඳී තිබෙනවා. ඒ නිසා තමයි මේ ප‍්‍රශ්න දිනපතා වැඩිවෙන්නේ.

මේ ළඟදී ග‍්‍රීන්ලන්තයේ අවසාන අයිස් කන්දත් දියවී යාම ගැන අවමගුල් උත්සවයක් පැවැත්වූවා. ස්වීඩන් ජාතික අවුරුදු 16 ක දැරිවියක් ගේ‍්‍රටා තුම්බර්ග් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් වැඩිහිටියන්ට විශාල චෝදනාවක් සිදු කළා. ඇය ස්වීඩනයේ සිට නිව්යෝර්ක් නගරයට ගමන් කළේ සුළඟින් කි‍්‍රයාත්මක වන බෝට්ටුවකින්. ඒ චෝදනාව තමයි ඔබලා මේ මහපොළවට කළ අපරාදවලට දැන් අපේ පරම්පරාවෙන් වගකීමට සිදුව ඇති බව. අපේ දරුවොත් එහෙම කියයි අපට. හැබැයි අපේ ජීවිත කාලයේදී මේ පරිසර ව්‍යසනයේ භයානක ප‍්‍රතිවිපාක අපට ලැබෙන්න නියමිතයි.

දැන් දින තුනකට පමණ කලින් ලෝක බැංකුව ලංකාව ගැන ඉතා වැදගත් වාර්තාවක් නිකුත් කළා. ඒ තමයි අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂ්‍ය ගුණය පිළිබඳව රටේ තත්වය. රට මධ්‍යස්ථ තත්වයක ඉන්නේ. අපගේ ප‍්‍රාග්ධනය ආයෝජනය වෙනවා ගොඩනැගිලිවල, රථවාහනවල, යටිතල පහසුකම්වල. හැබැයි මානව ප‍්‍රාග්ධනය දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ කුසලතාවය, ආයු කාලය, සෞඛ්‍ය සම්පන්නභාවය, මේ මානව සංරචකය එහෙම නැත්නම් අපි ඒකට කියනවා මානව ප‍්‍රාග්ධන දර්ශකය කියා. එය 58% යි ලංකාවේ. එහි තේරුම මොකද්ද අපේ දරුවන්ගේ සෞඛ්‍ය තත්වය, අධ්‍යාපන තත්වය සියයක හැකියාවක් තිබුණට 58 යි වැඩට යෙදවෙන්නේ. අපේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ සිංගප්පූරුව. දරුවන්ගේ හැකියාව 88% ක් යෙදවෙනවා. අපේ 58% යි. මෙය අපි ලැජ්ජාවිය යුතු කාරණයක්. මෙය අපි වැඩිදියුණු කර ගත යුතුයි ඉදිරි කාලයේදී.

ඒ වගේම මේ ධනය තිබූ පමණින් අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ කියන එකත් ඒකෙන් පෙන්වා දී තිබෙනවා. ලංකාවේ අධ්‍යාපනයෙන් සහ මානව දර්ශකයෙන් ඉදිරියෙන්ම සිටින්නේ දකුණු පළාත. බස්නාහිර පළාතේ මුදල් තිබුණට දැනුමයි සෞඛ්‍ය සම්පන්න භාවයයි නැහැ. ඒ අනුව දකුණු පළාතේ අයට ආඩම්බර විය හැකියි. ඊළඟට මේ රටේ දැරිවියෝ අපේ පිරිමි දරුවන්ට වඩා දැනුමින් සෞඛ්‍ය මෙන්ම සෑම අතින්ම ඉදිරියෙන් සිටිනවා කියා එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. මේ කාරණා දෙස බලා අපේ අනාගතය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ අය අධ්‍යාපනයට කරුණු තුනක් යෝජනා කරනවා. එකක් මව්බසට අමතරව ඉංග‍්‍රීසි බසේ තිබෙන අවශ්‍යතාවය. දෙවන කාරණය මේ පෝෂ්‍යජනක භාවයේ තිබෙන අවශ්‍යතාවය. 13% ක් මන්ද පෝෂණයෙන්. 25% ක් අධි පෝෂණයෙන්. මේක මේ රටේ තිබෙන භයානක තත්වයක්. පෝෂණය පිළිබඳ ගැටළුක්. ඒක දුරු කර ගන්න විධිමත් පෝෂණ කි‍්‍රයාවලියක් අවශ්‍යයි රටට. ඊළඟට අපේ දරුවෝ අතර මේ තොරතුරු තාක්ෂණ දැනුමේ තිබෙන අඩුව. මෙන්න මේ කරුණු ගැන ඔවුන් හොඳ වාර්තාවක් රටට ඉදිරිපත් කර තිබෙනවා. වැදගත්ම දේ තමයි අපට 100% ක හැකියාවක් තිබුණට එයින් වැඩ ගන්නේ අපි 58% යි. මෙය ඉදිරි කාලයේදී 75 ක් වත් කර ගත්තොත් රට ඉදිරියට යනවා. ඒ සඳහා මෙය අවස්ථාවක් කර ගත යුතුයි. මේ දියසරු උද්‍යානය වගේ උද්‍යාන තවත දහස් ගණනක් රටට අවශ්‍යයි. අපි කොළඹ අගනගර බල ප‍්‍රදේශය රැම්සා සම්මුතියෙන් සම්මාන ලැබුවා. එවැනි අගනගරයක් මේ කලාපයේ තිබෙන එකම රට අපේ රට. ඒ උරුමය අපි ඉදිරියටත් කුමන ගොඩනැගිලි ඉදිකෙරුවත් රැක බලාගත යුතු යැයි පැවසීය.