ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේදී උත්පලා හා ඉෂාරා ගෙන් ශ්‍රී ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම්

පසුගිය දා උස්බෙකිස්තාන්යේදී නිමාවට පත්වූ වයස අවුරුදු 22න් පහළ ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගන්නට ශ්‍රී ලංකාවේ උත්පලා සෙව්වන්දි සමත් වූවාය.
එම තරගාවලියේ කාන්තා අංශයේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ තරග වැදුණ උත්පලා අවසන් මහා තරගයේදී උස්බෙකිස්තාන ක්‍රීඩිකා සබිනා බොබොකුලෝවා හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් එසේ රිදී පදක්කමට හිමිකම් කීවාය.
උතපලා අර්ධ අවසන් පූර්ව වටයේදී නිතරග ජයක් වාර්තා කළ අතර ඉන් අනතුරුව පැවති අවසන් පූරව වටයේ තරගයේදී ජපානයේ හිකාරෝ ශිනොහරා සමඟින් තරග වැදුණි. එම තරගයෙන් හිකාරෝ ඉවත වීම හේතුවෙන් උතපලාට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවිය.
නමුත් අවසන් මහා තරගයේදී සබිනා ඉදිරියේ උත්පලා පරාජයට පත්වීම හේතුවෙන් ඇයට රිදී පදක්කමකින් සෑහීමකට පත්වන්නට සිදුවිය.
මෙම බොක්සිං තරගාවලියේදී කිලෝග්‍රෑම් 52 ෆ්ලයිවේට් බර පන්තියේ කාන්තා අංශයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවේ ඉෂාරා නිශාදි එම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වුවාය.
ජපානයේ රින්කා කිනොශිටා හමුවේ එසේ පරාජය ලැබීම නිසා ඉෂාරාට ලෝකඩ පදක්කමක් හිමි වූවාය.
රටවල් 12 කින් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 109 දෙනෙකු සහභාගී වූ මෙම මංගල ආසියානු යොවුන් බොක්සිං තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් යුත් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.