අඟහරු සවාරියක් ගොස් අඟහරු ග්‍රහයා තුළම මියැදීමට අපේක්ෂා කරන ලොව අංක එකේ ධනවතාගේ සිහිනය

‘ටෙස්ලා’ සහ ‘ස්පේස් එක්ස්’ යන සමාගම්වල හිමිකරු වන ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන් ඉලොන් මස්ක් අඟහරු සවාරියකට සූදානම් වෙයි. දිනෙක තමා අඟහරු බලා යන්නේ, යළි පෘථිවියට නොපැමිණීමට බවත්, තමාගේ අවසන් කටයුතු අඟහරු මත සිදුවනු ඇති බවත් මස්ක් අවස්ථා ගණනාවකදී පවසා ඇත.
2021 වසරේ ලොව වඩාත් කැපී පෙනෙන පුද්ගලයා ලෙස ලෝක ප්‍රකට ටයිම් සඟරාව නම් කර ඇත්තේ, ‘ටෙස්ලා’ සහ ‘ස්පේස් එක්ස්’ යන සමාගම්වල හිමිකරු ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ය. ඉලොන් මස්ක් මේවනවිට ලොව ධනවත්ම පුද්ගලයා ද වෙයි. ඇමෙරිකානු ජාතිකයකු ලෙස පෙන්වාදෙන මස්ක්, උපතින් දකුණු අප්‍රිකානුවෙකි.
50 හැවිරිදි මස්ක්ගේ වත්මක් ඉහළ යෑම සිදුවූයේ පසුගිය ‘කොවිඩ් 19’ වසංගත සමයේ යැයි ‘ටයිම්’ සඟරාව පවසයි. ඒ, ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව උපුටා දක්වමිනි. එම කාලයේ මක්ස්ගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් බිලියන 250ක ඉහළ ගිය බව ද පැවැසෙයි.
‘ටෙස්ලා’ යනු ඉලොන් මස්ක්ගේ මෝටර් රථ නිෂ්පාදන සමාගමය. අනාගතයට ගැලපෙන නවීන පන්නයේ පරිසර හිතකාමී මෝටර් රථ නිර්මාණයේ ප්‍රමුඛයා වන්නේ ‘ටෙස්ලා’ ය. රියදුරන් නොමැති මෝටර් රථ ‘ටෙස්ලා’ නිර්මාණය කරයි.

‘ස්පේස් එක්ස්’ යනු අභ්‍යවකාශ ගමන් බිමන් සිදු කරන සමාගමය. මේ වනවිට ‘ස්පේස් එක්ස්’ පෞද්ගලික ගගන සංචාර පවා ආරම්භ කර තිබේ. ‘ස්පේස් එක්ස්’ සමාගම ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ. නාසා ගගනගාමීන් සඳහා රොකට්ටු සහ කැප්සියුල නිර්මාණය කර ඇත්තේ ද ‘ස්පේස් එක්ස්’ සමාගමය.

‘ටයිම්’ සඟරාවේ කවරය මෙවර හැඩ ගැන්වී ඇත්තේ ද ඉලොන් මස්ක්ගේ රුවිනි. පසුගිය 2020 වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන් ලෙස ‘ටයිම්’ සඟරාව දෙදෙනකු නම් කළේය. ඒ, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ උපජනාධිපතිනී කමලා හැරිස්ය. ‘ටයිම්’ සඟරාව සෑම වසරකම ලොව කැපී පෙනෙන පුද්ගලයන් නම් කිරීම සිදු කරන්නේ, 1927 වසරේ සිටය.