පත්තර ලොවේ මහා රජ දිවිසැරිය නිම කරයි

විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා දිවි සැරිය නිමකළේය. එල්මෝ ගුණරත්න මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 06ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයකු ලෙස සැලකේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි.
පසුව ලේක්හවුස් ආයතනයේ සේවය කළ අතර එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කර රජයට පවරා ගැනීමට විරෝධය පළ කර ඉන් ඉල්ලා අස්විය.

පසුව තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කළ අතර පසුව ලංකාවට පැමිණ ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී කළේය.

පසුව එම ආයතනය මගින් මුද්‍රණය කළ ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ අතර එලෙස කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වශයෙන්ද එල්මෝ ගුණරත්න මහතා නම් කරයි.

පසුව අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද කටයුතු කර තිබේ.

එල්මෝ ගුණරත්න මහතා මාධ්‍යවේදී දමිත ගුණරත්න, මාධ්‍යවේදී තුෂාර ගුණරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැපයුම් කළමනාකරු හර්ෂ ගුණරත්න සහ ව්‍යාපාරික රජීව් ගුණරත්න යන අයගේ පියාණන් වේ.