නාමල් රාජපක්‍ෂ සහ නිමල් පෙරේරා කෝටි ගණන් වංචා කළා-දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ

නුවරඑළිය සහ හම්බන්තොට රෝහල් ඉදිකිරීමට අදාළව නිමල් පෙරේරා නැමැති පුද්ගලයා හරහා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නෙදර්ලන්ත සමාගමක් වන ‘එන්ආර් ප්‍රොජෙක්ට්’ (NRProjects) සහ ‘ඇස්පන් මෙඩිකල්’ (Aspen Medical) නමැති ඕස්ට්‍රේලියානු සමාගමෙන් මුදල් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (3දා)හෙළිදරව් කළේය.
එනම් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් ඔවුන් කළ පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනවලදී මෙම වංචාව හෙළි වූ බවයි.
ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධ නඩුවේ ”බී වාර්තාව”ට අනුව නාමල් රාජපක්‍ෂ තමාට රුපියල් මිලියන 60ක මුදලක් ලැබුණු බව පිළිගෙන ඇති බවද ඔහු එම මුදල රග්බි තරඟාවලියකට පරිත්‍යාග කළ බව පවසා ඇතැයිද වසන්ත සමරසිංහ පැවැසීය. “කෙසේ වෙතත්, රග්බි සම්මේලනය පවසා ඇත්තේ ඔහුගෙන් එවැනි පරිත්‍යාගයක් නොලැබුණු බවයි,” යනුවෙන්ද සමරසිංහ වැඩිදුරටත් පැවසීය.
නෙදර්ලන්ත සමාගමක් වන එන්ආර් ප්‍රොජෙක්ට්ස් සමාගම විසින් සිදු කරන ලද නුවරඑළිය සහ හම්බන්තොට රෝහල්වල ඉදිකිරීම් ව්‍යාපෘති සම්බන්ධ පිළිබඳ වැඩිදුර විමර්ශනවලදී යුරෝ මිලියන 82 ක වංචා හා දූෂණ සිද්ධිය අනාවරණය වූ බව සමරසිංහ මහතා පැවසීය.
නෙදර්ලන්ත සමාගමක් වන NR ප්‍රොජෙක්ට්ස් සමාගම සහ ඕස්ට්‍රේලියානු සමාගමක් වන Aspen Medical සමාගම නිමල් පෙරේරාගේ සිංගප්පූරුවේ Saber Vision Holdings ගිණුමට මුදල් තැන්පත් කර ඇති අතර ඉන් මුදල් නාමල් රාජපක්ෂගේ ගිණුමට යොමු කර ඇති බව ඔහු පැවසීය.
නෙදර්ලන්ත සමාගමක් වන ‘එන්ආර් ප්‍රොජෙක්ට්’ සමාගම යුරෝ මිලියන 4.33 ක් ද ‘ඇස්පන් මෙඩිකල්’ සමාගම විසින් ඇමරිකානු ඩොලර් 555,000 ක් ද නිමල් පෙරේරාගේ සිංගප්පූරු ගිණුමට තැන්පත් කර ඇති බව ඔහු පැවසීය.
ඇස්පන් මෙඩිකල් සමාගම ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යාපෘතියක් සිදු කර නොමැති බවද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් “අපට කිසිදු හෝඩුවාවක් නොමැති සමාගම් 2ක ගනුදෙනුවකට මා සහ මගේ පවුලේ අය සම්බන්ධ බවට චෝදනා සහිත වාර්තා චිත්‍රපටයක් නැවත වරක් මතුවී තිබෙනවා, යහපාලන රජය මට බොහෝ දේ චෝදනා කළත් ඒ සඳහා මා තවමත් උසාවියට යනවා. කාටවත් මේකට සම්බන්ධයක් නෑ ” යනුවෙන් සඳහන් කර තිබුණි.