එන්.ඕ.සී.ය මෙවරත් සුපුරුදු සෙල්ලමේ බොක්සිං වළල්ලටත් රිංගයි

එලැඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට අදාළව සිදුකෙරෙන තේරීම් කටයුතු වලට අනවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් ජාතික ඔලිම්පික් කමිටුව (එන්.ඕ.සී) මෙවරත් සුපුරුදු සෙල්ලමේ යෙදී සිටින බවට වාර්තා වේ. එනම් තවත් මාස දෙකකින් පමණ ආරම්භවීමට නියමිත බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ කටයුතු වලට එන්.ඕ.සී. බලධාරීන් බලපෑම් කරමින් සිටින බව එකී ආරාචි මාර්ග සඳහන් කරයි.
බොක්සිං තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරා ගැනීමෙන් පසුවත් එන්.ඕ.සී. බලධාරීන් අනුගමනය කරනු ලබන අශිෂ්ඨ ක්‍රියාකලාපය මෙසේ සිදුකරනු ලබන බලපෑම් අතර එක් සිදුවීමක් ලෙස බොක්සිං ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්වී ඇත.
එනම් ජාතික ඔලිම්පික් කමිටුව විසින්ම යෝජිත ප්‍රමාණයට අනුව ක්‍රීඩකයින් 5ක් සහ ක්‍රීඩිකාවන් 3ක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික බොක්සිං තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද නමුත් එසේ දක්ෂතා අනුපිළිවෙල අනුව තෝරා ගත් ක්‍රීඩකයින් පස්දෙනාට අමතරව එම තේරීම් ලැයිස්තුවේ 8වැනි ස්ථානයේ සිටින ක්‍රීඩයාද නම්කර එවන්නැයි එන්.ඕ.සී. බලධාරීන් බොක්සිං තේරීම් කමිටුවට බලපෑම් කරමින් සිටින බවද පැවැසේ.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට අදාලව ශ්‍රී ලංකාව නියෝජනය කරන බොක්සිං කණ්ඩායම් දෙකට වෙන් කළ මුදල් ප්‍රතිපාදන වලට අනුව ජාතික ඔලිම්පික් කමිටුව විසින්ම සීමා කර තිබූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 5ක් පමණි. නමුත් එම කොන්දේසිය කඩකරමින් දැන් එන්.ඕ.සී.ය ජාතික බොක්සිං තේරීම් කමිටුවට බලපෑම් කරන්නේ තම ආයතනයේම මුදලින් එම ලැයිතුවේ 8වැනි ස්ථානයේ සිටින ක්‍රීඩකයාද යැවීමට අවශ්‍ය බැවින් ඔහු නම් කර එවන ලෙසයි.
නමුත් ජාතික බොක්සිං තේරීම් කමිටුවට මෙන්ම බොක්සිං ක්ෂේත්‍රයේ කාහටත් මතුව ඇති ගැටළුව වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සදහා තෝරා ගත් පිරිමි ලැයිස්තුවේ සිටින 6වැනි සහ 7වැනි ස්ථානවල සිටින දෙදෙනා නොසළකා 8වැනියා එම ක්‍රීඩා උළෙලට ගෙනයාමට උත්සාහ කිරීම කාගේ වුවමනාවක් ඉටුකිරීමක්ද යන්නයි. ඒ අනුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ ජාත්‍යන්තර මට්ටමේ තනතුරක්ද දරණ මෙරට බොක්සිං කාන්තාවකගේ යහළුවාට උදව්
කිරීමක් වශයෙන් එන්.ඕ.සී. බලධාරීන් මෙලෙස ක්‍රියා කරන බවයි.
තවද මෙකී කාන්තාව මෙරට ආරක්ෂක අංශයක් නියෝජනය කරමින් සේවය කරන අතර 2014 වසරේ පෙබරවාරි මස දිනක රාත්‍රියේදී මාධ්‍යවේදියෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධව සිරගත කරන ලද කාන්තාවකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් විමසූ විට ජාතික බොක්සිං තේරීම් කමිටු සාමාජිකයෙකු අප වෙත ප්‍රකාශ කළේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට අදාළව සිදුකරන ලද තේරීම් තරග වලින් පසුව පිරිමි අංශයේ කිලෝ ග්‍රෑම් 51ට අඩු, 54ට අඩු, 57ට අඩු, 67ට අඩු, 63.5ට අඩු වශයෙන් ක්‍රීඩයින් පස්දෙනෙක්ද කිලෝ ග්‍රෑම් 71ට අඩු, 81ටඅඩු, සහ 75ට අඩු යනාදී වශයෙන් තවත් තිදෙනෙකු ඇතුළත්ව ක්‍රීඩකයින් අටදෙනෙකුගේ ලැයිස්තුවක් සකස් කළ බවයි.
අප වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ එම තේරීම් කමිටු සාමාජිකයා “ එන්.ඕ.සී. යට අවශ්‍ය වූයේ පිරිමි අංශයෙන් ක්‍රීඩකයින් පස්දෙනෙක් පම‍ණක් නිසා ජයග්‍රහණයක් සඳහා බලාපෙරොත්තුවක් තැබිය හැකි බර පංති පහක ක්‍රීඩකයින් තෝරලා දුන්නා. අපේ අත්දැකීම් අනුව කිලෝ ග්‍රෑම් 71, 81 හා 75ට අඩු බර පංති වලින් අපේ ක්‍රීඩකයෝ මෙම ක්‍රීඩා උළෙලට යවන එක කිසීම තේරුමක් නැහැ. හේතුව අපිට මේ වගේ බර පංති වලින් දක්ෂ ක්‍රීඩකයො නැහැ, මේ වගේ තරගාවලියකට ගියොත් පළමු වටයේ පළමු තත්පර කිහිපයෙන්ම ඉවත් වේවි. එහෙම තත්වයක් තේරුම් ගන්න බැරිව එන්.ඕ.සී. නිලධාරීන් ජාතික තේරීම් කමිටුව හරහා අපිට බලපෑම් කරනවා. අනෙක තෝරා ගත් ලැයිස්තුවෙ ඉන්න පිළිවෙලට පිටින් පැනල 8වැනියාට ඉන්න පිරිමි ක්‍රීඩකයා තම ආයතනයේ මුදල්ම වියදම් කරල යවන්න තිබෙන අවශ්‍යතාව පිළිබඳව අපිටත් ප්‍රහේළිකාවක් තිබෙනවා.”
යනුවෙන් පැවැසීය.
තවද මලල ක්‍රීඩා, දුනු විදීම සහ ජිම්නාස්ටික් යන ක්‍රීඩාවන්ට අදාළව තේරීම් කටයුතු වලදීද එන්.ඕ.සී. බලධාරීන් මෙවන් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බවද එකී ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.