ජනපති අත්සන හොරට ගැසූ හිටපු බැංකු සේවකයා රිමාන්ඩ්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කිරීම සහ ව්‍යාජ ලිපි ලේඛන සැකසීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ලංකා බැංකුවේ හිටපු සේවකයකු බව කියන අජිත් කුමාර නමැත්තා ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08දා) නියෝග කළේය.
ජනාධිපතිවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස භාවිත කළ පුද්ගලයකු සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන පැවැත්වූ රහස් පොලිසිය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. වැඩ තහනමකට ලක්ව සිටින ලංකා බැංකු සේවකයකු යළි සේවයේ පිහිටුවීම යන මාතෘකාව යටතේ මෙම ලිපිය සකස් කර ඇති බවත්, සැකකරු එම ලිපියේ ජනාධිපතිවරයාගේ අත්සන භාවිත කර ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත යවා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වී ඇතැයි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියේය.
නඩුව යළි ලබන 17 වැනිදා කැඳවීමට නියමිතය.