ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිත ගණන කෝටි 9 පසුකරයි

ගෝලීය වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය ලොව පුරා අසාදිත සංඛ්‍යාව අද වන විට (10දා) කෝටි 09 (මිලියන 90) ඉක්මවා ගොස් තිබේ. මේ අනුව අද උදෑසන 10 වන විට ලොව පුරා රටවල් 220කින් වාර්තා වී තිබු මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව නව කෝටි අසුහතරදහස් පන්සිය විසිහතක් (90,084,527ක්) පමණ වේ.
මෙම ආසාදිතයන්ගෙන් බහුතරය වන දෙකෝටි විසිහය ලක්‍ෂ අනුනවදහස් නවසිය තිස්අටක් (22,699,938) වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉන්දියාවෙන්ද, (එක් කෝටි හාරලක්ෂ පනස් එක් දහස් තුන්සිය හතළිස් හයක් ) හා තෙවැනි වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාව බ්‍රසීලයෙන්ද (අසු ලක්‍ෂ හැත්තෑපන් දහස් නවසිය අනු අටක් ) අද උදෑසන වන විට වාර්තා වී තිබිණි.
මේ අතර අද උදෑසන වන විට ලොව පුරා රටවලින් වාර්තා වී තිබු මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දහනව ලක්‍ෂ තිස්හතර දහස් නවසිය විසිපහක් (1,934,925ක්) විය. මෙම මරණ සංඛ්‍යාවෙන් බහුතරය වාර්තා වී ඇත්තේ ද ඇමරිකා එක්සත් ජනපදයෙනි (381,480ක්). අද වන විට සුවය ලබා තිබු ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හය කෝටි හතළිස්හතර ලක්‍ෂ හැට හය දහස් එකසිය විසි තුනක් (64,466,123ක්) විය.