දින 50 ක් තුළ සමාජයෙන් කිසිම කොවිඩ් රෝගියෙක් වාර්තා වී නෑ

ගත වූ දින පනහක කාලය තුළ සමාජයෙන් කොවිඞ් 19 ආසාදිතයන් කිසිවකුත් වාර්තා නොවූ බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අප්‍රේල් මස 30 වැනිදායින් පසු පසුගිය දින 50 තුළ සමාජයෙන් කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ කිසිවකුත් මෙතෙක් වාර්තා නොවූ බවත්, නමුත් වෛරසය මෙරට අවසන් වී ඇති බව එයින් අදහස් නොවන බවත්, නිවැරදි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් අතරින් ඇතැමුන් කොවිඞ් ආසාදිතයන් වශයෙන් හඳුනාගනු ලබන බවත්, ඔවුන් ශ්‍රී ලාංකිකයන් ද වන බැවින් අප ශ්‍රී ලාංකීකයන් ලෙස ඔවුන් ප්‍රතික්ෂේප නොකරන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඇතැම් පාර්ශ්ව මෙරටට විදේශිකයන් රැගෙන නොඑන බවට චෝදනා කරන බව කී යුද හමුදාපතිවරයා නමුත් සෑම දිනකම මෙරටට විදේශයන්හි සිට ශ්‍රී ලාංකීකයන් 300 – 400 ක් පැමිණෙන බවත් සඳහන් කළේය.