Friday, March 29, 2024
Home Foreign news විරාම නැහැ දිගටම ගහනවා – පුටින් කියයි

විරාම නැහැ දිගටම ගහනවා – පුටින් කියයි

එක්සත් ජනපද විකාශක CNN ට අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ විනාඩි 90 ක් දුරකථනයෙන් කතා කළේය. එම දුරකථන ඇමතුමේදී සටන් විරාම නැති බවත් යුද්ධය ඉදිරියට ගෙන යන බවත් පුටින් පවසා ඇත.
රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ටාස් ද මෙම සාකච්ඡාව පැවති බව වාර්තා කර තිබේ.
සාකච්ඡාවේදී ලෝක ප්‍රජාව රුසියාවට එරෙහිව ඇති බවට මැක්‍රොන් පුටින්ට අනතුරු ඇඟවීය. පුටින් වැරදි තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියේය. යුක්රේනය මධ්‍යස්ථ සහ නිරායුධකරණයක් සඳහා වන මොස්කව් ඉල්ලීම් පිළිගත නොහැකි බවත් ගැටුමට පුටින් මුලුමනින්ම වගකිව යුතු බවත් මැක්‍රොන් යලි අවධාරණය කළේය.

ආරංචි මාර්ග වලට අනුව, මැක්‍රොන් පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ යුක්රේන ජනාධිපතිවරයාට, ඔහුගේ පවුලේ අයට, ඥාතීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ තේරී පත් වූ නියෝජිතයින්ට ගරු කරන ලෙසයි.

පුටින් සමඟ දුරකථන සංවාදයෙන් පසු මැක්‍රොන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ ද කතා කළේය.

මේ අතර අද රුසියාව-යුක්රේන සාම සාකච්ඡා දෙවන වරටත් යුක්රේන-රුසියා දේශසීමාවේ හෙළි නොකළ ස්ථානයකදී ආරම්භ වී තිබේ. දෙවැනි වටයේදී යළිත් හමුවී සටන් විරාමයක් ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළහ.

කෙටි වීඩියෝ පටයක දැක්වෙන්නේ යුක්රේන නියෝජිත පිරිස රුසියානු නියෝජිතයින් අසුන්ගෙන සිටි සම්මන්ත්‍රණ ශාලාවකට ඇතුළු වන බවයි. සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ඔවුහු අතට අත දුන්හ.

යුක්රේන ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වන මිහායිල් පොඩෝලියාක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කරන ලද බවත් න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධාන කරුණු වන්නේ විනාශයට පත් වූ හෝ දිගටම ෂෙල් ප්‍රහාරවලට ලක් වූ ගම්මානවලින් හෝ නගරවලින් සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා ක්ෂණික සටන් විරාම සහ මානුෂීය කොරිඩෝ ඇති කිරීම බවත්ය.

මීට පෙර, පෙබරවාරි 26 වන දින, රුසියානු හමුදා මෙහෙයුමේ පස්වන දින, සාම සාකච්ඡා සඳහා දෙරටේ නියෝජිත පිරිසක් හමුවිය. යුක්රේන-බෙලරුස් දේශසීමාවේ බෙලාරුස් හි ගොමෙල් ප්‍රදේශයේදී මෙම හමුව සිදුවිය. පළමු රැස්වීමේදී එකඟතාවකට පැමිණ නැති අතර දෙවැන්නද එසේ සිදුවී ඇත.

රුසියානු ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහා යුක්රේන හමුදා බ්‍රහස්පතින්දා (මාර්තු 3) අටවැනි දිනටත් සටන් කරති. මෙම යුද්ධයේදී මිලියනයකට අධික ජනතාවක් දැනටමත් රට හැර ගොස් අසල්වැසි රටවල රැකවරණය ලබා ඇත.
ජීවිත හානි රැසක් වාර්තා වේ.