හිරේ ගියත් උසස් පෙළ අත්නොහැර ලොවටම ආදර්ශයක් දුන් තිදෙනෙක්

අද ආරම්භ වූ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු සහ එල්.ටී.ටී.ඊ විශේෂ ගණයේ සැකකරුවෙකු පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස විභාග අපේක්ෂකයින් ලෙස සහභාගී වන එල්.ටී.ටී.ඊ විශේෂ ගණයේ සැකකරු 38 වැනි වියෙහි පසුවන අතර අනෙක් සිරකරුවන් දෙදෙනා අවුරුදු 43 සහ 46 වයස්වල පසුවන අය වෙති. තවද නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
අද සිට ලබන මාර්තු මස 05 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2438ක දී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙනු ඇත. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කරන පරිදි කොවිඩ් රෝගය වැලඳුණු අපේක්ෂකයින්ට දිවයින පුරා රෝහල්වල විශේෂිත විභාග මධ්‍යස්ථාන 29 ක් ආරම්භ කර ඇත.
නිරෝධායනය වන සිසුන් සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂිත කාමරයක් හෝ දෙකක් වෙන් කර ඇති අතර වෛද්‍යවරු සහ විභාගය පැවැත්වීම සඳහා සියළුම පහසුකම් මෙම විභාග මධ්‍යස්ථානයන්හි සමන්විත වේ. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශයන්හි විශේෂ සහයෝගය ලැබෙන බවද පැවැසේ.