මිලියන 162 කට ළං වු කොරෝනාව ලෝක විනාශයක්ද?

3D illustration

මේ වන විට ලොව පුරා පැතිරී යන කොරෝනාව හෙවත් කෝවිඞ් 19 වෛරසය ප‍්‍රභේද ගණනාවක් මතුව තිබෙනවා. චීනයෙන් පටන් ගත්ත මේ වෛරසය ලොව පුරාම දැන් පැතිරී ගොස් අවසන්. එක්සත්ජතීන් විසින් පිළිගත් රටවල් සංඛ්‍යාව 195 ක් වුවත් ලොව පුරා ඇති සමස්ත රටවල් සංඛ්‍යාව 245 ක් බවයි සඳහන් වන්නේ. මෙයින් රටවල් 222 කටම කොරෝනා වෛරසය ඇතුළුවී අවසන්. ඒ නිසා මේක ලෝක විනාශයක ආරම්භයද යන්නත් දැන් තැන තැන කතා වෙන්න පටන් අරන් තියෙනවා.
කොහොම වුණත් කොරෝනාව ආරම්භ වූ චීනය මේ වන විට එය පාලනය කරගෙන තිබෙනවා. වත්මන් තත්ත්වය අනූව චීනයටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වී තිබීම තමයි විශේෂත්වය. ශ‍්‍රී ලංකාවේ එක්ලක්ෂ තිස්පන්දහසකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙද්දී චීනයෙන් වාර්තා වී ඇත්තේ රෝගීන් අනූ පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණයි. නමුත් ශ‍්‍රී ලංකාවේ මරණ 892 ක් සිදුවෙද්දී චීනයෙන් මරණ 4636 ක් සිදුවී තිබෙනවා.
මේ වන විට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 162 කට ආසන්නයි. එයින් මිලියන තුනකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. මිලියන 140 කට වැඩි පිරිසක් සුව වී තියෙනවා.
කොරොනාවෙන් වැඩියෙන්ම බැට කෑ රාජ්‍ය වන්නේ ඇමරිකාව. ඔවුන්ගෙන් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 33 කටත් අධිකයි. ඒ අතරින් ලක්ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. ඇමරිකාවට පසුව මේ වෛරසයෙන් බැට කන අනෙක් රට වන්නේ අපේ අසල්වැසි ඉන්දියාවයි. ඔවුන්ගේ මිලියන 25 කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වෙද්දී දෙලක්ෂ හැත්තෑපන්දහසක් මිය ගොස් තිබෙනවා.
අලූත්ම තත්ත්වය අනූව දැන් රෝගය පාලනය කිරීම ඉතාම අසීරු වී තියෙනවා. ඊට හේතුව එක්දිනකට ලක්ෂයකට ආසන්න ජීවිත සංඛ්‍යාවක් මේ රෝගය නිසා බිළිවීමයි. රෝගයෙන් ආරක්ෂා වීමටනම් සියලූ දෙනා සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපැඳීම අනිවාර්්‍ය සාධකයකි.