ෆයිසර් හමුදාවට භාර දුන්නාට දොස්තරලා විරුද්ධ වෙති

කොරෝනා මර්දන ෆයිසර් එන්නත්කරනය සම්බන්ධ පූර්ණ බලය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදීමේ තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි. එන්නත් ලබා දිය යුතු ක්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක්‍රියාවක් බවත් හෙතෙම පවසා සිටියේය.

ඊට අදාළ සියලු තීන්දු තීරණ සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් එම් ආනෝල්ඩ් මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රිය ස්ථානයකින් සිදුවිය යුතු බව පවසන එම සංගමය යුද හමුදාව වෙත එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබද දැඩි විරෝධය පල කරන බවත් මෙම අවිධිමත් වැඩපිලිවෙල හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කළ බවද කීවේය.