ඉන්දියාවට ලකුණු 302ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව මුම්බායිහිදී පැවැති තරගය ලකුණු 302කින් ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 357ක් රැස් කළේ ය.

ශුබ්මන් ගිල් 4 පහර 11ක් සහ 6 පහර 2ක් සමග ලකුණු 92ක් රැස් කළ අතර විරාත් කෝලි ලකුණු 88කට දැවී ගියේ ඩිල්ශාන් මදුශංකගේ පන්දුවක් හමුවේ ය.

මීට අමතරව ශ්‍රෙයාස් අයියර් 4 පහර 3ක් සහ 6 පහර 6ක්ද සමගින් ලකුණු 82 රැස් කිරීමට සමත් විය

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නියැලුනු ඩිල්ෂාන් මදුශංක ලකුණු 80ට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ලකුණු 357ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුනු අතරට පිවිසීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 3 ක් සටහන් වන විටදී ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4ක් බිඳ වැටුන අතර ලකුණු 29කදී  විශිෂ්ඨ ඉන්දීය පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායාමේ කඩුලු 8ක් බිඳ වැටුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවන් 5 දෙනෙකු එකදු ලකුණක් වත් ලබා ගැනීමට නොහැකි වූ අතර ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කල ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12 රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් කල වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතයි. ලකුණු 12 රැස් කල මහීෂ් තීක්ෂන සමඟින් රාජිත ලංකා ඉනිම ලකුණු 55ක් දක්වා රැගෙන යාමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් ශාමි පන්දුවාර 5කදී ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේ ය.