පාපන්දු ක්‍රීඩාවත් ක්‍රිකට් වගේ දියුණු කරන්න ඕන – ඇමැති නාමල් කියයි

‘නිදහස් කුසලාන සිලෝන් පළාත් පාපන්දු තරගාවලිය’ ඉදිරියේදී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් හා සමානව පැවැත්වීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පළාත් මට්ටමින් ක්‍රියාත්මක ජාතික පාපන්දු සංචිතය සඳහා ක්‍රීඩකයන්ට දොර ඇරෙන’ නිදහස් කුසලාන සිලෝන් පළාත් පාපන්දු තරගාවලියේ’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පසුගිය දා කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පවතින ගෝලීය වසංගතය විධිමත්ව කළමනාකරණය කරගනිමින් තරුණ ජවය සමග ශ්‍රී ලාංකේය ක්‍රීඩා ආර්ථිකය ගොඩනැංවීමට අත්වැල් සපයමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් රට පුරා සියලු ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය වන පරිදි ක්‍රීඩකයන් ඇතුළත්ව පළාත් 9ම නියෝජනය කරමින් කණ්ඩායම් 8ක් මෙම තරගාවලියට සහභාගී වේ.
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩයින් සියලුදෙනාට තමන් උපන් පළාත නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම අනිවාර්යය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇති අතර ඔවුන් සමග නැගී එන දක්ෂ ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත.
වයඹ හා උතුරුමැද පළාත් දෙක එක් කණ්ඩායමක් ලෙස රජරට පාපන්දු පිල ලෙසින් මෙම පාපන්දු තරගාවලියට එක්වේ.
මෙම තරගාවලියේ සියලුම කණ්ඩායම් භාරව ප්‍රධානියකු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පත් කර ඇති අතර, මෙහි දී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරුන් සියලුදෙනාට වගකීම් පවරා තිබේ.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘කොළඹින් පිට වයඹ පළාතේ පිහිටා තිබෙන මෙම කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාංගණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සහ කුරුණෑගල මහ නගර සභාවේ අනුග්‍රහයෙන්මෙම ක්‍රීඩාංගණය තුළ පළාත් පාපන්දු තරගාවලිය ආරම්භ කර තිබෙනවා. පාපන්දු ක්‍රීඩාව රටේ ප්‍රචලිත කිරීමට මෙම පාපන්දු තරගාවලිය බෙහෙවින් ඉවහල් වෙනවා වගේම මේ තුළ තරුණ ක්‍රිඩක ක්‍රීඩිකාවෝ විශාල ප්‍රමාණයක් බිහිකරගන්න හැකියාව ලැබෙයි.
ඒ වගේම පළාත් පාලන ආයතනයක් ලෙස මහ නගර සභාව ඉදිරියට පැමිණ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට දරන උත්සහය අපි අගය කරනවා. ලබන වසර වනවිට මෙම ධාවන පථය මංතීරු හයක සින්තටික් ධාවන පථයක් බවට පත් කරන්න ක්‍රීඩා අමාත්‍යාංශයත් මැදිහත්වෙනවා.
මෙලෙස ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ඉමහත් උනන්දුවෙන් කටයුතු කරන පළාත් පාලන ආයතන වෙත අපි නිරන්තර සහයෝගය ලබාදෙනවා. මෙම තරගාවලිය ඉතාමත් සාර්ථක පැවැත්වෙනවා. කොවිඩ් 19 වසංගත අභියෝගය තිබුණත් පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරිමට වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යන්නත් රටේ ක්‍රීඩා ආර්ථිකය ගොඩනැගීමටත් පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා ඇතුළු එම කණ්ඩායම ලබාදෙන සහයෝගය අපි අගය කරනවා.’